May 17, 2024

මුලතිව් මුහුදේ උණුසුම් තත්ත්වයක්

මුලතිව් මුහුදේදී මෙරට ධීවරයෙකුට අයත් බෝට්ටුවකට ඉන්දීය ධීවරයින් පිරිසක් විසින් දැඩි අලාභහානි සිදුකර තිබේ. මෙම සිදුවීමෙන් පසු ඉන්දීය ධීවරයින් අටදෙනෙකු සහ ටෝලර් යාත්‍රාවක් ඊයේ (04)  අත්අඩංගුවට ගත් මුලතිව් ධීවරයෝ ඔවුන්ව මුලතිව් වෙරළේ දී පොලීසිය වෙත බාරදී තිබේ.

අනවසරයෙන් මුලතිව් මුහුදු සීමාවට ඇතුල් වූ ඉන්දීය ධීවර යාත්‍රාව මුලතිව් ධීවර යාත්‍රාවට දැඩි අලාභහානි සිදුකර දැල් ආම්පන්න ද විනාශ කිරීම හේතුවෙන් කෝපයටපත් මුලතිව් ධීවර යාත්‍රා කිහිපයක් අදාල ඉන්දීය ධීවර යාත්‍රාව  ලුහුබැඳ ගොස් යාත්‍රාව ද සමග ඉන්දීය ධීවරයින් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන මුලතිව් මුහුදු වෙරලට ගෙනවිත් තිබේ.

අනතුරුව මුලතිව් ධීවරයින් හා ඉන්දීය ධීවරයින් අතර උණුසුම් තත්වයක් හටගෙන ඇති අතර තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය ද පැමිණ අදාල ධීවරයින් පිරිස මුලතිව් පොලීසිය වෙත භාර දී ඇත.

අලාභහානි සිදුවූ ධිවර යාත්‍රාවේ හිමිකරු වූ මුලතිව් පළාතේ ධීවරයෙකු වන සේගර් රංජිත් නැමැත්තා පැවසුවේ ඉන්දීය ධීවරයින් මහමුහුද මැදදී තම බෝට්ටුව හප්පවා එයට රුපියල් ලක්ෂ දෙකහමාරක පමණ අලාභයක් ද, දැල් ආම්පන්න මුහුදට ඇද දැමීමෙන් තවත් රුපියල් ලක්ෂ එකහමාරක පමණ අලාභයක් ද සිදුකර ඇති බවයි.

සිදුවූ අලාභහානිය වෙනුවෙන් යම් සාධාරණ වන්දියක් ලබාදීමට  මුලතිව් දිසාපතිවරිය තමාටත් තම ධීවර සංගමයටත්  එකග වූ බව ද සේගර් රංජිත් මහතා සදහන් කොට සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියාසිටියේ ඉන්දීය ධීවරයින් පිරිස ලාංකික ධීවරයින් විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා මුහුදු තීරයේදී බවත් පොලීසිය භාරයේ සිටින ඉන්දීය ධීවරයින්

අටදෙනා මුලතිව් අධිකරණයට ඉදිරිපත් කරන බවත්,ඔවුන්ගේ ටෝලර් යාත්‍රාව නාවික හමුදාව භාරයේ ඇති බවත් ඉන්දීය ධීවරයින්ට එල්ලවන චෝදනාව වන්නේ අනවසරයෙන් උතුරු මුහුදු සීමාවට ඇතුලුවීම,ධීවරයින්ට පහරදීම සහ අලාභහානි සිදු කිරීම යන චෝදනා  බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.

 

 

රොමේෂ් මධුෂංඛ - වන්නි

Rate this item
(0 votes)
Last modified on Tuesday, 05 January 2016 12:31