May 19, 2024

ඝාතකයින්ගේ ගිනි අවිය උදුරා ඔවුන්ටම වෙඩි තබයි (PHOTOS)

අඟුණුකොලපැලැස්ස උස්වැව ප්‍රදේශයේ දී ඇති වූ ගැටුමක් හේතුවෙන් දෙදෙනෙකු මියගොස් තිබේ.

දෙපිරිස අතර කාලයක් තිස්සේ තිබූ කෝන්තරයක් හේතුවෙන්  පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමට පැමිණි තවත් පුද්ගලයන් දෙදෙනෙකු ගෙහිමියා විසින් ඔවුන්ගේම ගිනි අවිය උදුරාගෙන මෙසේ වෙඩි තබා ඝාතනය කර ඇත.

උස්වැව ප්‍රදේශයේම පදිංචි සමරසිංහ ආරච්චිගේ චන්දන නොහොත් ජුල් චන්දන (35) සහ මල්ලිකා ආරච්චිගේ දීපාල් පුෂ්පකුමාර නොහොත් අජාසත්ත (25 ) යන පුද්ගලයින් දෙදෙනා එම ගැටුමෙන් මියගොස් ඇත.

ඝාතනය සිදු කර පලා ගොස් ඇති සැකකරු අලහප්පෙරුම ආරච්චිගේ අජිත් ප්‍රියන්ත නොහොත් චන්ඩි  නමැති 35 හැවිරිදි පුද්ගලයෙකි.

පසුගිය 02 වැනි දා පස්වරු 06.30 පමණ මිය ගිය පුද්ගලයින් දෙදෙනා සැකකරුගේ මවගේ නිවසට ගොස් ඔහුගේ මවට පරුෂ වචනයෙන් බැණ වැදි පහර දී අදාල සැකකරුගේ නිවසට පැමිණ තිබේ. 

එම අවස්ථාවේ සැකකරු නිවසේ හිඳ නොමැත. එහි දී මියගිය පුද්ගලයින් දෙදෙනා සැකකරුගේ නිවසට වෙඩි කීපයක් තබා යාමට සූදානම්වන අවස්ථාවේ නිවෙස් හිමියා (සැකකරු) ඔහුගේ නිවස අසල දී සැඟ ව සිට ඔවුන්ට පහර දී T 56 වර්ගයේ ගිනි අවිය උදුරාගෙන වෙඩි තබා පහර දී දෙදෙනාම ඝාතනය කර තිබේ. අනතුරු ව පලා ගිය සැකකරු 03 වැනි දා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මිය ගිය මල්ලිකා ආරච්චිගේ දීපාල් පුෂ්පකුමාර නොහොත් අජාසත්ත නමැත්තා 2011 වර්ෂයේ දී සැකකරුගේ සහෝදරයෙකු ඝාතනය කර තිබේ. ඒ සමග ඇති වූ ගැටුමක් හේතුවෙන් පසු ව ද්විත්ව ඝාතනයේ සැකකරුවන නිවෙස් හිමියා විසින් දීපාල් පුෂ්පකුමාර නොහොත් අජාසත්ත යන අයගේ බාප්පා කෙනෙකු ඝාතනය කර තිබේ.

එමෙන්ම දීපාල් පුෂ්පකුමාර නොහොත් අජාසත්ත තම පියා ද ඝාතනය කර ඇති බැවින් අජාසත්ත යන අන්වර්ත නාමය ඔහුට පටබැඳී තිබේ. ඊට අමතර ව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක සොරකම් මංකොල්ලකෑම් සිදු කළ බවට සැකපිට පොලීසිය විසින් සොයමින් සිටි අයෙකි. එමෙන්ම අධිකරණ කීපයකින් අධිකරණය මගහැරීම යටතේ වරෙන්තු කර සිටි පුද්ගලයෙකි.

මෙහි මහේස්ත්‍රාත් පරීක්ෂණය අඟුණුකොලපැලැස්ස අධිකරණයේ  ප්‍රධාන මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා විසින් සිදු කළ අතර මෙම දිවිත්ව ඝාතනය  සම්බන්ධයෙන් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ටී.සී.ඒ. ධනපාල මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ අඟුණුකොළපැලැස්ස පොලීසිය ඇතුළු තවත් පොලිස් කණ්ඩායම් කීපයක් එක් ව පරීක්ෂණ සිදු කරයි. 

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

Rate this item
(0 votes)