May 19, 2024

නාමයෝජනා ප්‍රතික්ෂේප වූ 05ට ක්‍රිකට් නිලවරණයට අවසර

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා ඉදිරිපත් කර ප්‍රතික්ෂේප වූ නිලධාරීන් 05 දෙනෙකුට නිලවරණයට තරග කිරීමට අවසර ලබාදීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර තිබේ.

අගවිනිසුරු කේ.ශ්‍රී පවන් ප්‍රියන්ත ජයවර්ධන සහ කේ.ටී.චිත්‍රසිරි යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඊයේ (31) එම අවසරය ලබා දී ඇත.

නාමයෝජනා ඉදිරිපත් කර, ප්‍රතික්ෂේප වූ නිලධාරීන් පස් දෙනෙකුට නිලවරණයට තරග කිරීමට අවසර ලබාදීමේ නියෝගයක් පසුගිය 18 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී තිබිණ.

එදින විනිසුරු මඩුල්ලේ සභාපති ලෙස ඊවා වනසුන්දර මහත්මිය කටයුතු කර ඇති අතර එම අවසර ලබාදීමේ නියෝගයට අත්සන් නොතබා ඇය විදෙස්ගතවීම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය යළිත් වරක් අදාළ තීන්දුව පැහැදිළි කරදීමට පියවර ගෙන ඇත.

ඒ අනුව එළැඹෙන 03 වැනි දා පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ උපසභාපති ධූරය සඳහා කේ. මතිවානන් සහ අසංග සෙනෙවිරත්න යන මහත්වරුන්ට තරග කිරීමට අවස්ථාව හිමි වේ.

එමෙන්ම භාණ්ඩාගාරික ධුරයට තරග කිරීම සඳහා ඊස්ට්මන් නාරංගොඩ මහතාටත්, උප භාණ්ඩාගාරික ධුරයට සුජීව ලොකුහේවා සහ නිහාල් ලෙව්කේ යන මහත්වරුන්ට ද ඉදිරි ක්‍රිකට් නිලවරණයේ දී තරග කිරීමට හැකිවන බව වාර්තා වේ.

 

Rate this item
(0 votes)