May 07, 2024

බිරිඳ වෙනුවෙන් විදෙස් ගතවීමට ජොන්ස්ටන්ට අවසර

December 31, 2015

වත්කම් හා බැරකම් ප්‍රකාශ නිසි පරිදි ඉදිරිපත් නොකළ බවට චෝදනා ලැබ නඩු පවරා සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට සිය බිරිඳගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස්ගතවීමට අවසර ලබා දී තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ජනවාරි මස 04 වැනි දා සිට 07 වැනි දා දක්වා ඔහුට විදෙස් ගතවීම සඳහා එලෙස අවසර ලබා දී ඇත.

නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරු ව ජනවාරි මස 11 වැනි දා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණෙන ලෙස ද නියෝග කර තිබේ.

2012 - 2015 කාලයේ වත්කම් හා බැරකම් ප්‍රකාශ නිසි පරිදි ඉදිරිපත් නොකළ බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව නඩු 05ක් ගොනු කර තිබේ.

ඒ අනුව අදාළ නඩුව ඉකුත් 15 වැනි දා කැඳ වූ අවස්ථාවේ දී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් සැකකාර හිටපු අමාත්‍යවරයාට එක් නඩුවකට රු.10,000 බැගින් මුදල් ඇපද, ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත නිදහස් කරන ලෙස නියෝග කළේ ය.

එසේම සැකකරුට විදේශ ගමන් තහනම් කළ විනිසුරුවරයා විදේශ ගමන් යා යුතුනම් ඒ සඳහා අධිකරණයෙන් අවසර ලබාගත යුතු බව දන්වා තිබේ.

එහි දී විත්තියේ නීතිඥයින් විසින් තම සේවාදායකයාට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රයෙහි වත්කම් හා බැරකම් ප්‍රකාශන පනතේ අංකය දෝෂ සහිතව යො‍දා ඇති බව අධිකරණයට කරුණු දක්වමින් පවසා ඇති අතර ඒ කෙරෙහි අවධානය යොමු කළ විනිසුරුවරයා අදාළ අංකය නිවරදිව සටහන් කරමින් සංශෝධිත චෝදනා පත්‍රයක් එළැඹෙන නඩු දිනයේ ඉදිරිපත් කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කළ බව වාර්තා වේ.

 

Rate this item
(0 votes)