May 07, 2024

එන්රික්ගේ ප්‍රසංගය ගැන කොළඹ පුරපති කළ හෙළිදරව්ව (VIDEO)

විදේශීය ගායකයෙකු මෙරටට ගෙන්වා සංගීත ප්‍රසංගයක් සංවිධානය කළ ආයතනය අසාදු ලේඛනයට ඇතුළත් කරන බව කොළඹ මහනගර සභාවේ නගරාධිපති ඒ.ජේ.එම් මුසම්මිල් මහතා පවසයි.

ලතින් අමෙරිකානු ගායකයෙකු වන එන්රික් ඉග්ලෙසියස් නැමැත්තෙකු ශ්‍රී ලංකාවට පසුගියදා ගෙන්වා සී.ආර්.ඇන්ඩ්.එෆ්.සී පිටියේදී සංගීත ප්‍රසංගයක් සංවිධානය කර තිබිණ.

මෙම ප්‍රසංගය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් දෙදෙනෙකු වන මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන බව කියන 'Live Events' නැමැති ආයතනය විසින් බව වාර්තා වේ.

මෙම ප්‍රසංගයේදී ප්‍රවේශපත්‍ර රැසක් අලෙවි වූ අතර ඉහළ වටිනාකම් වලින් යුත් එම ප්‍රවේශපත්‍ර අලෙවියේදී බදු වශයෙන් ලැබිය යුතු රුපියල් මිලියන 29ක මුදලක් කොළඹ මහනගර සභාවට අහිමි වී ගිය බවට පසුගිය දිනවල දැඩි කතා බහක් ඇති වූ අතර එම ප්‍රසංගයේදී තරුණියක විසින් සිය තනපට ගලවා එම ගායකයා දෙසට විසිකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශයක් ද පසුගිය දින කිහිපයේදී සමාජ ජාල වෙබ් අඩවි වල දැඩි ලෙස කතා බහට ලක්විණ.

මෙම වාතාවරණය යටතේ කොළඹ මහනගර සභාවේ නගරාධිපති ඒ.ජේ.එම් මුසම්මිල් මහතා ඊයේ (30) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසූවේ මෙම ප්‍රසංගය සංවිධානය කළ සමාගම වහාම අසාදු ලේඛන ගත කිරීමට පියවර ගන්නා බවයි.

එසේම එම ආයතනය සංවිධානය කළ එම ප්‍රසංගයෙන් රුපියල් මිලියන 29ක පමණ බදු මුදලක් අහිමි වී ගිය බවත්, එම මුදල ගෙවීමට සති දෙකක් ලබාදෙන බවත්, මුදල ගෙව්වත් නැතත් එකී ආයතනය අසාදු ලේඛන ගත කරන බවත්, හෙතෙම අවධාරණය කළේය.

මුදල් නොගෙවන්නේ නම් නීතිමය පියවර ගැනීම ගැන අවධානය යොමු කරන බවද ඔහු පැවසීය.

අදාළ ප්‍රසංගයේදී අලෙවි කළ ප්‍රවේශපත්‍ර වලින් 7000ක පමණ කොළඹ මහනගර සභාවේ මූද්‍රාව ඇති බවටත්, තවත් ප්‍රවේශපත්‍ර 3000ක පමණ එම මූද්‍රාව නැති බවටත් සැක කරන බවත්, මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය කෙරිණ. 

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)
Last modified on Thursday, 31 December 2015 09:26