May 08, 2024

රතුපස්වලින් රතු එළියක් - ආණ්ඩුවට සති දෙකක් කල්දෙයි

December 31, 2015

දෙසතියක් ඇතුළත රතුපස්වල ගැටළුවලට විසඳුමක් නොලැබුණහොත් වැලිවේරිය පොලිසිය ඉදිරිපිටට ගොස් නැවතත් උද්ඝෝෂණ ආරම්භ කරන බව රතුපස්වල ගම්වාසී සුරේෂ් පෙරේරා මහතා ඊයේ (30) ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගම් ශාලාවේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය.

ගම්වාසීන් අරඹන උද්ඝෝෂණයට වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන සහයද ලබා දෙන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්, නීතීඥ ජයන්ත දෙහිඅත්තගේ, පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් සහ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති සහ රාවය මාධ්‍යවේදීන් තරිඳු උඩුවරගෙදර යන මහත්වරුද එහිදී පැවසූහ.

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය එම මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කර තිබිණි. 

පහත දැක්වෙන්නේ එම මාධ්‍ය හමුවට එක්වූ නියෝජිතයින් දැක්වූ අදහස්ය.

එහිදී අදහස් දැක්වූ ගම්වාසී සුරේෂ් පෙරේරා මහතා.

‘‘ගම්පහ හිටපු දිස්ත්‍රික් ලේකම් ජේ ජේ රත්නසිරි මහත්මයා, ගම්පහ හිටපු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මොනිකා මානප්පෙරුම, වැලිවේරිය පොලිස් ස්ථානාධිපති එස්.කේ උපාලි, ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ, මහර ආසන සංවිධායක ලසන්ත අලගියවන්න ආදී පිරිස් වතුර ප්‍රශ්නය පටන් ගනිද්දිම අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තා නම් මෙච්චර ප්‍රශ්නය දුර දිග යන්නේ නෑ. 

රතුපස්වල උද්ඝෝෂණ මාලාව පටන් ගත්තේ 2013 ජූලි 27. මේ ප්‍රශ්නය ගැන අපි ජූලි 16 වැලිවේරිය පොලිස් ස්ථානාධිපතිට, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීට සහ ප්‍රාදේශීය සභාවට ලිඛිතව දැන්වුවා. වැලිවේරිය ස්ථානාධිපතිට තිබුණා මේක ගැන සොයා බලා කම්හලට නඩු දාන්න. නමුත් කළේ නෑ. ගමේ ප්‍රශ්න සොයා බලනවා වෙනුවට ඔහු ගම්වාසීන් ආරවුලට ආවා. රාජකාරි පැහැර හැරි ඒ පොලිස් නිලධාරියාට ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට වත්මන් රජයෙන් ඔහු කතරගම පොලිස් ස්ථානාධිපති ලෙස පත් කළා. 

දින කිහිපයක් මිනිස්සු උද්ඝෝෂණ කරද්දී ගම්පහ දිස්ත්‍රික් ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් තිබුණා. ජල ගැටළුව ගැන ආයතන දහයකින් වාර්තා කැඳවන්න එහිදී තීරණය වුණා. අද වෙනකම් ඔහු ඒ වාර්තා එළියට දැම්මේ නෑ.  යහපාලන ආණ්ඩුව යටතේ ඔහු අමාත්‍යංශ ලේකම්වරයකු ලෙස පත් කළා. එදා  වාර්තා එළියට දැම්මේ නැත්තේ ඇයි කියා අද ඔහු රටට හෙළි කළ යුතුයි.   

2013 අගෝස්තු පළමු වැනිදා තමයි වෙඩි තිබ්බේ. එදින උදේ   බ්‍රිගේඩියර් දේශප්‍රිය කිව්වා බලන් ඉඳපල්ලා හවස තොපිට වතුර දෙනවා කියලා. ඉන් පස්සේ හවස ඇවිදින් වෙඩි තිබ්බා. 

අපි මේ ආණ්ඩුවට අවුරුද්දක් කල් දුන්නා. තවත් සති දෙකක් කල් දෙනවා. තව සති දෙකක් ඇතුළත අපට සාධාරණයක් නොවුණොත් යුද හමුදාවෙන් වෙඩි තියලා මිනිස්සු මැරුණු වැලිවේරිය පොලිසිය ඉදිරිපිටට ගිහින් පැල් බැඳගන්නවා. අපි පාරට බැස්සට පස්සේ සාකච්ඡා කරන්න එන්න එපා. ආයෙත් වෙඩි තියලා මරලා දාලාම තමයි මිනිස්සුන්ව අයින් කරන්න වෙන්නේ.‘‘ 

එහිදී අදහස් දැක්වූ නීතීඥ ජයන්ත දෙහිඅත්තගේ මහතා.

 ‘‘ජලය කියන්නේ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාවයක්. සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීමට සෑම පුද්ගලයකුටම අයිතියක් තිබෙනවා. ඒ සඳහා පිරිසිදු ජලය අවශ්‍යයි. එය ලෝකයම පිළිගෙන තිබෙනවා. රතුපස්වල සහ වැලිවේරිය ජනතාව පාරට බැස්සේ පිරිසිදු පානීය ජලය ඉල්ලලා. එම උද්ඝෝෂණ ආණ්ඩුවෙන් වෙඩි තබා මර්දනය කරන්න උත්සාහ කළා. 

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වැලිවේරිය ප්‍රශ්නය ගැන විමර්ශනයක් සිදු කර මීට වසර එකහමාරකට පෙර වාර්තා දෙකක් නිකුත් කළා. එක් වාර්තාවක් ජල ප්‍රශ්නය ගැනයි. අනිත් වාර්තාව වැලිවේරිය වෙඩි තැබීම ගැනයි. 

එම වාර්තාවේ සාධනීය නිර්දේශ තිබෙනවා. වෙඩි තැබූ හමුදා නිලධාරීන්ට අපරාධ නීතිය යටතේ කටයුතු කරන ලෙස සහ අණ දුන් නිලධාරීන්ට යුද හමුදා නීතිය යටතේ කටයුතු කරන ලෙස නිර්දේශ කර තිබෙනවා. නමුත් අද වන තුරු එම නිර්දේශ ක්‍රියාත්මක කර නෑ.‘‘ 

Rate this item
(0 votes)