May 19, 2024

යහපාලනය සිහිපත් කරමින් ඇමති අර්ජුනගෙන් ක්‍රීඩා ඇමතිට ලිපියක්

December 31, 2015

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ක්‍රියා කලාපය ප්‍රශ්න කරමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට ලිපියක් යොමු කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ නාම යෝජනා සලකා බැලීමේදී සහ ප්‍රතික්ෂේප කිරීමේදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කළ ආකාරය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කළේ ය.

ඔහුගේ ලිපියේ දැක්වෙන්නේ, පසුගිය වසර 15 ක කාලයේදී ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය නොකිරීමේ පදනම මත නාමයෝජනා කිහිපයක් ප්‍රතික්ෂේප කර ඇති අධ්‍යක්ෂ ජනරාල්වරයා එම කොන්දේසිය සපුරා නැති තවත් පිරිසකගේ නාමයෝජනා භාරගෙන ඇති බව ය.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ක්‍රියා කලාපය මත යහපාලනයේ සිද්ධාන්ත දැඩි ලෙස බිඳ වැටෙන බව සිහිපත් කරන රණතුංග මහතා මෙම තීරණ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව අවධාරණය කරයි.

ක්‍රිකට් සභාපති ධූරයට තරග කිරීමට පසුගිය වසර 15ක කාලයේ වසර 2 ක් ක්‍රිකට් විධායක කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර තිබිය යුතු බවට ක්‍රීඩා නීතියේ දැක්වෙන බැවින් ඊට ගරු කරමින් තමා ක්‍රිකට් සභාපති ධූරයට නොව උප සභාපති ධූරයට තරග කිරීමට තීරණය කළ බව ද ඔහුගේ ලිපියේ සඳහන් වේ.

අමාත්‍යවරයාගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වූයේ එහි පිටපතක් ජනාධිපතිවරයාට ද භාරදුන් බව ය.

 

 

Rate this item
(0 votes)