May 19, 2024

යාපනයේ තව අක්කර 700 ක් හමුදාව බාරදෙයි

December 31, 2015

වසර 25 කට පසුව ජාතික ආරක්ෂාව සඳහා යුද හමුදාව යටතේ පැවති යාපනයේ ඉඩම් අක්කර 700 කට වැඩි ප්‍රමාණයක් එහි මුල් පදිංචිකරුවන් වෙතට එළැඹෙන තයිපොන්ගල් දිනට පෙර ලබාදීමට රජය පියවර ගෙන ඇති බවට යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා පවසයි.

දිසාපතිවරයා මේ බව පැවසූවේ අදාල ඉඩම් නිදහස් කර එහි මුල් අයිතිකරුවන් වෙතට භාරදීම සඳහා යාපනය වලිකාමම් උතුරු ප්‍රදේශයේ අදාල ඉඩම් පරික්ෂා කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ නැවත පදිංචි කිරීම් අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මුල් පිදිංචිකරුවන් පිරිසක් සමග පැමිණීමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමිනි.

ලබන තයිපොන්ගල්දාට පෙර අදාල ඉඩම් ලබා දීමට පියවර ගෙන ඇති බවටත් මේ දිනවල මෙම ඉඩම් කොටසේ යුද්ධයට පෙර පවුල් 300 ක් පමණ ජීවත් වුව ද බාරදුන් ඉඩම්වල මායිම්ගල් ඉවත් ව ඇති නිසා යළි මැනීම් කටයුත්තකින් පසුව ජනතාවට බාරදෙන බවත් නිදහස් කෙරෙන ඉඩම් ප්‍රදේශ හඳුනා ගැනීම සඳහා එහි මුල් පදිංචිකරුවන්ට අවස්ථාව සලසා ඇති අතර ඉඩම්හි අයිතිය මුල් පදිංචිකරුවන් විසින් තහවුරු කර ගැනීමෙන් පසුව එම ඉඩම් ඉතා ඉක්මනින් ලබාදීමට පියවර ගෙන ඇති බවට ද දිසාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ ය.

පසුගිය දා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අදාල ඉඩම් එහි මුල් පදිංචිකරුවන්ට ලබාදීම සම්බන්ධයෙන් කොළඹ දී ජනාධිපති  ලේකම් කාර්යාලයේ ආරක්ෂක අංශ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව වලිකාමම් උතුරේ වරුතලෙයිවිලාන් හා අවට ප්‍රදේශයේ අක්කර 200 ක් පමණ ද පලාලි නැගෙනහිර ප්‍රදේශයේ දී අක්කර 500 කට අධික ප්‍රමාණයක් ද මෙසේ මුල් පදිංචි කරුවන් වෙතට ලබාදීමට පියවර ගෙන තිබේ.

වන්නි රොමේෂ් මධූෂංඛ

Rate this item
(0 votes)