May 19, 2024

භාවිතයට නුසුදුසු කෝටි 13ක ජල පෙරණ ගැන තතු හෙළිවෙයි

December 30, 2015

උතුරු මැද පළාත් සභාව රුපියල් කෝටි 13ක් වැය කර භාවිතයට නුසුදුසු බහුකාර්ය ජල පෙරන යන්ත්‍ර තොගයක් හිතුමතේට ගෙන්වීමේ සිද්ධියක් පිළිබඳ තොරතුරු ජනාධිපති පරීක්ෂණ කොමිසමේ විමර්ශන නිලධාරීන් අනාවරණය කර ගෙන තිබේ.

වකුගඩු රෝගීන්ට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ අවස්ථාව අහිමි කිරීමක් එයින් සිදුකර ඇති බව විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් අනාවරණය කරගෙන ඇත.

පෞද්ගලික සමාගමක් මගින් බහුකාර්ය ජලපෙරන යන්ත්‍ර 12500ක් ගෙන්වාගෙන ඇත්තේ 2010 – 2011 – 2012 යන වසරවල දී ය.

පෞද්ගලික සමාගමක් හරහා උතුරු මැද පළාත් සභාවේ ඇතැම් ඇමැතිවරු සහ නිලධාරීන් එක් ව බලය අනිසි ලෙස අවභාවිතය කරමින් වංචනික තොරතුරු ඉදිරිපත් කරමින් මෙම යන්ත්‍ර මිල දී ගැනීම් සිදු කර ඇත.

යන්ත්‍ර 7500ක් ගෙන්වා ඇත්තේ ටෙන්ඩර් පරිපාටියෙන් තොරව ය. එක් යන්ත්‍රයක් රුපියල් 3000කට මිල දී ගැනීමට හැකියාව තිබිය දී එසේ නොකර යන්ත්‍රයක් රුපියල් 10,000 සහ ඊට ඉහළ මිලට මිල දී ගෙන ඇත. 

මෙම යන්ත්‍ර සම්බන්ධ ව විගණනයක් සිදුවෙද් දී විගණනය අතරමග නතර කර ඇත්තේ මෙම යන්ත්‍ර භාවිතයට නුසුදුසු බව නිර්දේශ කරමින් ය. මහජනතාවට බෙදා හැරීම නතර කරන ලෙසටත් එමගින් දැනුම් දී ඇත. එහෙත් ඒ පිළිබඳ මායිම් නොකර යන්ත්‍ර මහජනතාවට බෙදා හැර තිබේ. යන්ත්‍ර 50ක ආසන්න ප්‍රමාණයක් පමණක් බෙදා හැර නොමැත. මෙම බරපතළ කාරණය සම්බන්ධව සාක්ෂි විමසීම් ජනවාරි 04 වැනි දා කොමිසම ඉදිරියේ සිදු වේ. 

Rate this item
(1 Vote)