May 19, 2024

වෙනත් දෙමළ සංවිධානවලට ආයුෂ නෑ - මාවෙයි සේනාධිරාජා

December 30, 2015

දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය නොමැතිව උතුරේ ආරම්භ කරන නව පක්ෂ හා කණ්ඩායම්වලට වැඩි කාලයක් රදා පැවතීමට නොහැකි බව ඉලංගෙයි තමිල් අරසු කචිචි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා පවසයි.

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වි.විග්නේශ්වරන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් බිහිකළ දෙමළ මහජන කමිටුව නමැති සංවිධානය දෙමළ ජාතික සන්ධානයට බලපෑමක්ද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදු කළ විමසීමේදි හෙතෙම මේ බව පැවසීය.

සේනාධිරාජා මහතා වැඩිදුරටත් පැවසූවේ උතුරේ විවිධ කණ්ඩායම් විවිධ කමිටු, දේශපාලන පක්ෂ ආරම්භ කිරීම පසුගිය සමය පුරාම සිදු කළ බවත්, අදාළ කමිටු හා දේශපාලන පක්ෂවල පැවැත්ම මාස දෙක තුනකට පමණ සීමා වු බවයි.

විවිධ පක්ෂ හා කමිටු බිහිවුවද දෙමළ ජාතික සන්ධානය කෙරෙහි දෙමළ ජනතාවගේ පවතින විශ්වාසය පළුදු නොවන බවද සේනාධිරාජා මහතා පැවසුවේය.

කුමන කමිටුවක් බිහිවුවද අදාළ කමිටු තුළින් දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් විසදුම් ලබාදීම සිදු කළ යුතු අතර, උතුරේ පවතින ඉඩම් ගැටලු, වැන්දඹු පවුල් සංවර්ධනය කිරීම, නැවත පදිංචි ජනතාවට පහසුකම් ලබාදීම ආදි ගැටලු සදහා විසදුම් ලබාදීමට කවුරුන් හෝ ඉදිරිපත්වන්නේ නම් අදාළ කණ්ඩායම් වෙත උපදෙස් ලබාදීමට දෙමළ ජාතික සන්ධානය කටයුතු කරන බවද සේනාධිරාජා මහතා වැඩිදුරටත් පැවසී ය.

දිනසේන රතුගමගේ

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 30 December 2015 10:57