May 19, 2024

රට ගිය විමල් අද දිවයිනට - නව දේශපාලන පෙරමුණ බිහිවන ලකුණු 

December 29, 2015

පුරා මසකට අධික කාලයක් යුරෝපයේ සංචාරයක නිරතව සිටි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද (29) රාත‍්‍රීයේදී ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

‘සුද්දන්ගේ උසාවිය සහ ජාතියේ අවනඩුව’ නම් වූ සිය දේශන මාලාව මගින් රට මුහුණ පා ඇති බරපතළ අවදානම පිළිබඳව යුරෝපයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් දැනුම්වත් කිරීම විමල් වීරවංශ මහතාගේ මෙම සංචාරයෙහි අරමුණ වී තිබිණි.

එක්සත් රාජධානියේ ලන්ඩන්, ප‍්‍රංශයේ පැරිස්, ජර්මනියේ බර්ලින්, ඉතාලියේ රෝමය, නාපොලි මිලානෝ යන ප‍්‍රධාන නගරවල පැවති දේශන අතිසාර්ථක වූ බවත් ඒවාට බලාපොරොත්තු වූවාට වඩා විශාල විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන් පිරිසක් සහභාගී වීම හේතුවෙන් ශාලාවලින් පිටත සිට දේශනවලට සවන් දීමට බොහෝ පිරිසකට සිදු වූ බවත් සංවිධායකවරු පවසති.

මේ අතර ලබන වසරේ පැවැත්වීමට නියමිත පළාත්පාලන මැතිවරණය හා ඉදිරි දේශපාලන කටයුතු ඉලක්‌ක කරගෙන "අපේ ශ්‍රී ලංකා නිදහස්‌ පෙරමුණ" නමින් අලුත් දේශපාලන පක්‍ෂයක්‌ බිහිකිරීමට ඒකාබද්ධ විපක්‍ෂය අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කර ඇතැයි වාර්තා වේ.

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් බිහිවන මෙම "අපේ ශ්‍රී ලංකා නිදහස්‌ පෙරමුණ"ට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහින්ද හිතවාදී පිල, ජාතික නිදහස්‌ පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, වාසුදේව නානායක්‌කාර මහතාගේ සමසමාජ බලවේගය ඇතුළු අනෙකුත් සංවිධාන ගණනාවක්‌ ඇතුළත් බව වාර්තා වේ.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ පළමු රැස්වීම එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 09 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිත අතර විමල් වීරවංශ මන්ත්‍රීවරයා අද දිවයිනට පැමිණීමෙන් අනතුරුව සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. 

Rate this item
(0 votes)