May 04, 2024

හම්බන්තොට ගොවීන්ගෙන් ආණ්ඩුවට රතු එළියක් 

December 07, 2015

ගොවි ජනතාවගේ සහන කප්පාදු කරමින් ගොවියා ගොවිතැනින් ඈත් කිරීමට රජය දරන උත්සාහයට විරෝධය පලකරමින් හම්බන්තොට ගොවිහු අම්බලන්තොට නගරයේ දී අද (07) විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.

ගොවිජන අයිතින් සුරැකිමේ සංවිධානය මගින් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබිණි.

අම්බලන්තොට ගිරිහඩු විහාරය අසල සිට පා ගමනින් අම්බලන්තොට නගරයට පැමිණි ගොවීහු අම්බලන්තොට ඔරලෝසු කණුව ඉදිරිපිට දී විරෝධතාවක නිරත වූහ.

මෙහි දී අදහස් දැක්වූ රිදියගම ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් ශෂී එදිරිසූරිය මහතා කියා සිටියේ පෙර පරිදි රජයේ පොහොර සහනාධාරය යළි ලබා දෙන ලෙසත්, වීවලට තිබූ සහතික මිළ යළි ලබා දෙන ලෙසත්ය. ඉදිරියේදී  දිගින් දිගටම විරෝධතා සිදු කරන බවත් මෙය ආරම්භයක් පමණක් බවත් ඔහු පැවසී ය.

එදා කපු වගාවෙන් ගොවියා ඈත් කලා වගේ අද යහ පාලන ආණ්ඩුව ගොවියා වී ගොවිතැනින් ඉවත් කිරීමේ සැලසුම් තිබෙන බව බදගිරිය ගොවි සංවිධානයේ සභාපති ජේ.ආර්.ඩී සිරිපාල මහතා කීය.

මෙම විරෝධතාවය සඳහා දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ, පළාත් සභා මන්ත්‍රීවරුන් වන කපිල දිසානායක, එස් .වි .පී ආනන්ද සහ ප්‍රාදේශීය සභා නියෝජිතයෝ රැසක් ද එක්ව සිටියහ.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  - හම්බන්තොට  

 

Rate this item
(0 votes)