May 19, 2024

'අයවැයට විරුද්ධව ඡන්දය දෙන්න එපා' - ජනපති ශ්‍රීලනිප විපක්ෂ මන්ත්‍රීන්ට කියයි

December 02, 2015

2016 වසර සදහා රජය ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී අද (02) පස්වරු 5.00ට සිදුකිරීමට නියමිතයි. 

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව ජාතික රජයක් පිහිටුවා ඇති අවස්ථාවක නිදහස් පක්ෂය නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන් අයවැය ඡන්ද විමසීමේදී ගනු ලබන ස්ථාවරය කුමක්දැයි වැඩි අවධානයක් යොමුව ඇත. 

කෙසේ වෙතත් මීට පෙර  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවන්හිදී එම පක්ෂයේ, විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කරන බවට විවිධ ඉගි පළව තිබිණි. 

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ හමුවක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. එහිදී ජනාධිපතිවරයා විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා ඇත්තේ අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කරන ලෙසයි. 

එසේ නොමැතිනම් ඊට එරෙහි නොවී, ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටින ලෙස ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. 

කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ මෙම ඉල්ලීමෙන් අනතුරුව අවසන් තීරණයක් ගැනීම සදහා ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කණ්ඩායම මේ වනවිට සාකච්ඡාවක නිරත වී ඇත.

ජනාධිපතිවරයා සමග සාකච්ඡාවට සහභාගි වීමට පෙර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කළේ ස්ථිර ලෙසම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවයි.

මීට අමතරව, පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කර මේ වනවිට පාර්ලිමේන්තුව තුළ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, නව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු පක්ෂ අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කරන බව මේ වනවිටත් ප්‍රකාශ කර ඇත.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට සිය පක්ෂය මේ වනවිට තීරණය කර ඇති බවයි.

අද පැවැත්වෙන අයවැය ඡන්ද විමසීමේදී විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් අයවැයට සහය පළ කරමින් ඡන්දය භාවිතා කිරීමට සූදානම් වන බවට ද විවිධ කතාබහ මතුව තිබෙනවා. කෙසේ වෙතත්, එවැන්නක් සිදුවිය හැකි ද ? යන්න පිලිබදව හෝ එම මන්ත්‍රීවරුන් කවුරුන්ද යන්න පිළිබදව මේ වනතුරුත් නිල වශයෙන් ප්‍රකාශ වී නොමැත.

අද පැවැත්වෙන අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමෙන් පසුව හෙට සිට අයවැය තුන්වන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා විවාදය ආරම්භ වීමට නියමිතයි. අයවැය අවසන් ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව ඇත්තේ ලබන දෙසැම්බර් 19 වනදා පස්වරුවේදීයි.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 02 December 2015 15:48