May 19, 2024

වාහන පර්මිට් වෙනුවට මුදල් අතට - අයවැය සංශෝධනය සූදානම්!

December 01, 2015

අයවැයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනටද අහෝසි කළ තීරු බදු රහිත වාහන හිමිකම මන්ත්‍රීවරුන්ට යළි ලබාදීම සඳහා යම් සහනයක් සැළසීමට රජය තීරණය කර ඇතැයි දැනගන්නට තිබේ.

ඒ අනුව රාජ්‍ය සේවකයින්ට වාහන බලපත්‍රය වෙනුවට එම වටිනාකමට මුදල් ප්‍රමාණයක් ලබා දීමට මුදල් අමාත්‍යවරයා එකඟ වී තිබේ.

මේ අතර නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ පිළිබඳ කරුණු දක්වා තිබිණි.

එහිදී නියෝජ්‍ය ඇමතිවරයා මෙලෙස සඳහන් කර තිබේ.

“රාජ්‍ය සේවකයින්ට වාහන බලපත්‍රය වෙනුවට එම වටිනාකමට මුදල් ප්‍රමාණයක් ලබා දීමට මුදල් අමාත්‍යවරයා එකඟ වුණා.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහා අද බෙන්තොට පැවති වැඩමුළුවේ දී මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම පිළිගනිමින් සරිලන මුදල් ප්‍රමාණයක් ලබා දීමට මුදල් අමාත්‍යවරයා එකඟ වුණා.

වාහන බලපත්‍ර ලැබිය යුතු නියමිත කාලයේ දී රජය විසින් මෙම මුදල රජ්‍ය සේවකයින්ට ගෙවනු ලැබේ.

අවසානයේ දී රාජ්‍ය සේවකයින්ට සාධාරණ විසඳුමක් ලැබීම ගැන සතුටුයි. මේ ඉල්ලීම කිරීම සඳහා මමත් දැඩි ලෙස මැදිහත් වුණා. ඒ පිළිබඳව මට පෞද්ගලිකව ඇත්තේ සතුටක්.“ යැයි සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ රජයේ විධායක නිලධාරීන්ට ලබාදුන් තීරුබදු රහිත වාහන ගෙන්වීමේ බලපත්‍රය වෙනුවට රුපියල් මිලියනයක මුදලක් ලබාදීමට ආණ්ඩුව තීරණය කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් වූ සංශෝධනය අද (01) හෝ හෙට (02) මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

                          

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 02 December 2015 02:00