May 19, 2024

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අයවැයෙන් අඩුකළත් සහනය ජනතාවට ලැබී නෑ 

December 01, 2015

ගෑස් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ 11ක මිල පහත දැමීමට මෙවර අයවැයෙන් යෝජනා වී තිබිණි.

පසුගිය නොවැම්බර් 20 වැනිදා පාර්ලිමේන්තුවේදී මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් 2016 අයවැය ඉදිරිපත් කරමින් මේ බව සඳහන් කළේය. 

අර්තාපල් සඳහා විශේෂ වෙළදපොල බද්ද කිලෝ ග්‍රෑමයට රුපියල් 25කින් අඩුකරන බවත් ඒ අනුව රුපියල් 75-85ක් පමණ මිලදී ගත හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව ග්‍රෑම් 425 ටින් මාළු රුපියල් 125 දක්වා මිලකටත්, භූමිතෙල් මිල රුපියල් 10 කින් පහල දැමීමටත්, 12.5KG- ගෑස්  රුපියල් 150කින් පහල දැමීමටත්, කඩල කිලෝවක් 160 උපරිම මිලකටත් අලෙවි කිරීමටත් යෝජනා වී ඇත. පරිප්පු කිලෝවක මිල රුපියල් 169 උපරිම මිලකටත්, ළදරු කිරිපිටි මිල රුපියල් 100 කින් මිල අඩු කිරීමටත්, හාල් මැස්සන් කිලෝවක උපරිම මිළ රුපියල් 418 ක් ලෙසත් අයවැය යෝජනා මගින් සඳහන් කර තිබිණි.

කට්ට කරවල කිලෝ ග්රැම් 1ක උපරිම සිල්ලර මිල රුපියල් 1100 ක්ද, සාලයා කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 425 කට නියම කරන බව ද අමාත්‍යවරයා එහිදී පැවසී ය.

කෙසේ වෙතත් මුදල් අමාත්‍යවරයා විසින් ජනතාවට සහන ලබාදෙමින් ඉදිරිපත් කළ අයවැය යෝජනා ක්‍රියාත්මක වන්නේ ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ පසුවයි. නමුත් බොහෝ වෙළෙඳසැල්වල එම උපරිම මිළ ගණන් වලට භාණ්ඩ අලෙවි නොකරන බව පාරිභෝගිකයන් චෝදනා කරයි. මේ අතර රාජ්‍ය ආයතනයක් වූ ලංකා සතොස මගින් ද 2016 අයවැය මගින් උපරිම මිල නියම කළ අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ගණන් අඩු කර නොමැති බව පාරිභෝගිකයින් චෝදනා කරයි.

මේ අතර පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය සඳහන් කරන්නේ අයවැය මගින් ගෑස් ඇතුළු භාණ්ඩ 11 ක මිල පාලනය කරන බවට සඳහන් කළත් පාරිභෝගික කටයුතු අධිකාරියේ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ ගෑස් ඇතුළු භාණ්ඩ 07 ක් පිළිබඳව පමණක් බවයි. 

අයවැය ලේඛනයට අනුව පරිප්පු, ගෑස්, හාල්මැස්සන්, කට්ටා කරවල, සාලයා කරවල, කඩල, දේශීය කිරිපිටි, ටින් මාළු, ළදරු කිරිපිටි, අල, බී ලූනුවල මිල පාලනය කරන බවට සඳහන් කර තිබෙන බව එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.

එහෙත් ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ ගෑස්, හාල් මැස්සන්, පරිප්පු, කට්ටා කරවල, සාලයා කරවල, කඩල, දේශීය කිරිපිටි පමණක් මිල පාලනය කරන බවද ඔහු පවසා සිටියේය. මේ අනුව ටින් මාළු, ළදරු කිරිපිටි, අල, බී ලූනු ගැසට් නිවේදනයට ඇතුළත් කර නොමැති බවද හෙතෙම සඳහන් කළේය.

 

 

 

 

Rate this item
(0 votes)