May 19, 2024

වයඹ රෝහල් රසායනාගාර ශිල්පීන් වර්ජනයේ

December 01, 2015

පුත්තලම රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාගේ ව්‍යාජ පැමිණිල්ලක්‌ මත එම රෝහලේ වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥයකු (MLT) අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට එරෙහිව අද (01) වයඹ පළාතේ සියලු රෝහල්වල වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥයන් වැඩවර්ජනයක නිරත වන බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්‌ඩලය පවසයි.

අදාළ ව්‍යාජ පැමිණිල්ල ඉවත් කර ගැනීමට කටයුතු නොකරන්නේ නම් වයඹ පළාතේ සියලු රජයේ රෝහල්වල සේවය කරන ඖෂධවේදී, විකිරණ ශිල්පී, වෛද්‍ය රසායනාගාර, කාර්මික විද්‍යාඥ, භෞතවේදී චිකිත්සක හා වෘත්තීයවේදී චිකිත්සක යන සේවාවන්ට අයත් පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් හෙට (02) සංකේත වැඩවර්ජනයක නිරත වන බව එම බලමණ්‌ඩලයේ සභාපති අජිත් තිලකරත්න මහතා පැවසීය.

මෙම වර්ජනයන් මත අද දිනයේ වයඹ පළාත් රජයේ රෝහල්වල ලේ, මුත්‍රා ඇතුළු රසායනාගාර පරීක්‍ෂණ කටයුතු ද, හෙට දිනයේ එම පරීක්‍ෂණ කටයුතු සහ විකිරණ, බෙහෙත් නිකුත් කිරීම, භෞත චිකිත්සක හා වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර කටයුතු ඇනහිටිනු ඇතැයි තිලකරත්න මහතා කීවේය.

Rate this item
(0 votes)