May 16, 2024

'ගෝඨා අත්අඩංගුවට ගන්න පුළුවන්' - නීතිපතිට වාර්තාවක්

November 30, 2015

ඇවන්ට්ගාඩ් සමාගම මගින් පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන්  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට උපදෙස් ලබාදෙන ලෙස  අතිරේක සොලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතා විසින් නීතිපතිවරයා වෙත වාර්තාවක් යොමුකර තිබෙනවා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙම වාර්තාව සකස් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ සමාගම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන පදනම් කර ගනිමින්.

ඇවන්ට්ගාඩ් සමාගම කුලියට ගත් මහනුවර නැමැති නෞකාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනය අනුව මෙම වාර්තාව සකස් කර තිබෙන අතර එහි දැක්වෙන්නේ 2012 වසරේ සැප්තැම්බර් 18 වන දින එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්ව සිටි ඩී.එම්.එස්. ජයරත්න මහතාගේ අත්සනින් යුතු ලිපියකින් ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගමට ජාත්‍යන්තර මුහුදු සීමාවේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදී ඇති බව යි.
 
කෙසේ වෙතත් පරීක්ෂණවල දී අනාවරණ වී ඇත්තේ අදාළ නැව ගාලු වරාය තුළ නැංගුරම්ලා තිබියදී සියලු ව්‍යාපාරික කටයුතු සිදුකර ඇති බව යි.

මීට පෙර ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ වානිජමය මුහුදු ආරක්ෂණ කටයුතු කිසියම් සැගවුණු අභිප්‍රායක් මත නිසි විනිවිදභාවයකින් යුත් ටෙන්ඩර් පටිපාටියකින් තොරව නාවික හමුදාවෙන් ඉවත් කොට ඇවන්ට්ගාඩ් සමාගමට පවරා ඇති බව මෙම වාර්තාවෙන් පෙන්වා දෙනු ලබන අතර එම ව්‍යාපාරය හරහා දළ වශයෙන් ඇවන්ට්ගාඩ් සමාගම දිනකට රුපියල් මිලියන 15 කට අධික මුදලක් උපයා ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.
  
සිදුකළ මුලික විමර්ශනවල දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ සමාගම නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගිනි අවි ආනයනය කර ඇති බවත් වලංගු බලපත්‍රයක් නොමැතිව ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගෙන ඇති බවත් හෙළිකරගෙන තිබෙන අතර ශ්‍රී ලංකා නාවික හමුදාව වෙතින් ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගමට කාර්යභාරයන් පැවරීමේදී ගිනි අවි 800 ක් ලබාදී ඇතත්, පරීක්ෂණ සිදුකරන අවස්ථාවේදී මහනුවර නෞකාවේ ගිනි අවි 3000 ක්  තිබීම ගිනි අවි ආඥා පනත උල්ලංඝනය කිරීමක් බව අතිරේක සොලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතා පෙන්වා දෙනවා.
 
ඒ අනුවල ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගමේ  සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සහ එම සමාගමේ අධ්‍යක්ෂ මංජුල කුමාර යපා මහතා අත්අඩංගුවට ගත හැකි බව එම වාර්තාවේ සඳහන් කර ඇති අතර ඔවුන්ට ඒ සදහා ආධාර අනුබල දීමේ චෝදනා මත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් ඩී.එම්.එස්. ජයරත්න සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන් ද අත්අඩංගුවට ගත හැකි බවයි එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මෙම වාර්තාව මගින් නිර්දේශ කරන්නේ නිශ්ශංක සේනාධිපති, මංජුල කුමාර යාපා, ගෝඨාභය රාජපක්ෂ, ඩී.එම්.එස්. ජයරත්න සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන් අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත්වරයෙකු හමුවට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදෙන ලෙසයි.

ඊට අමතරව නීති විරෝධී ක්‍රියාකාරකම්වලින් මුදල් උපයා ගැනීම මුදල් විශුද්ධි කරණ පනත යටතේ වරදක් වන බැවින් ඉහත නම් සඳහන් පුද්ගලයන් සම්බන්ධයෙන් එම පනත යටතේ ද විමර්ශනයක් සිදු කරන ලෙස  අතිරේක සොලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතා නිර්දේශ කර තිබේ.

Rate this item
(0 votes)