May 08, 2024

ජනවාරියේ අලුත් අධ්‍යාපන පනතක්

November 28, 2015

එළැඹෙන ජනවාරි මස අලුත් අධ්‍යාපන ප්‍රතිපත්තියක් වෙනුවෙන් අධ්‍යාපන පනතක් ගෙන ඒමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමග ඉදිරියේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවත්, ඉදිරි අවුරුදු පහ තුළ අධ්‍යාපනයේ විශාල වෙනසක් ඇති කරන බවත් හෙතෙම කියා සිටී.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (27) අධ්‍යාපන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවක දී ය.

පාසල් ළමුන්ට නිල ඇඳුම් ලබාදීම වෙනුවට නිල ඇඳුම් ලබා ගැනීම සඳහා වවුචර හඳුන්වාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හමු වී තීන්දු තීරණ දැනුම්දීමේ රැස්වීමකට පසු ඒ පිළිබඳ මාධ්‍යයට අදහස් දැක්වීම සඳහා මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණ.

ඉතිහාසයේ දල දේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට වෙන් කළ ඉහළම මුදල මෙවර වෙන් කර ඇති බවත් එය බිලියන 83 ක් බවත්, පසුගිය රජය ඒ සඳහා වෙන්කර තිබුණේ බිලියන 16 ක් පමණක් බවත් හෙතෙම සඳහන් කළේ ය.

අයවැයෙන් ඉල්ලා සිටි මුදල් වලින් 90%ක් පමණ ලැබුණු බවත්, ඒ පිළිබඳ සතුටුවන බවත් අමාත්‍යවරයා කියා සිටියේ ය.

සෑම දිස්ත්‍රීක්කයකම සාමාන්‍ය වෙළෙඳපළ වටිනාකම සැලකිල්ලට ගෙන නිල ඇඳුම් ඛාණ්ඩ 21 ක් යට‍තේ වවුචර් වර්ග 17 ක් නිකුත් කරන බවත්, ඒ නිසාම කිසිවෙකුටත් මෙහි දී අසාධාරණයක් සිදු නොවන බවත් ඔහු පෙන්වා දෙයි.

මීට පෙරාතුව නිල ඇඳුම් ලබාදීමේ දී ඇඳුම් වර්ග 02ට පමණක් සීමාවුණු බවත්, ඇතැමුන්ට ඇඳුම් ප්‍රමාණවත් නොවන අවස්ථා හා ඇතැමුන්ට ඇඳුම් ඉතිරිවන අවස්ථා ද නොමඳව දක්නට ලැබුණු බවත් හෙතෙම පැවසී ය.

එබැවින් නව වැඩපිළිවෙළ යට‍තේ එවැනි ගැටළු ඇති නොවන බවත්, සෑම පාසල් දරුවෙකුටම තමාට සුදුසු නිල ඇඳුමක් හිමිවන බවත්, එම අවශ්‍යතා ඉටු කිරීමෙන් පසුව වුවද බිලියන ගණනක මුදලක් ඉතිරිවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

එසේම ඇඳුම් මිල ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ලක්සල, සළුසල හා සතොස වැනි රජයේ වෙළඳසැල් හරහා නිල ඇඳුම් බෙදාහැරී‍මට පවත්නා ඉඩකඩ පිළිබඳව ද සොයා බලන බවත්, ඒ පිළිබඳ දැනටමත් සාකච්ඡා කරමින් පවතින බවත් ඔහු අවධාරණය කළේ ය.

කෙසේ වුව ද නිල ඇඳුම් වවුචර් මේ මස 28-30 වනවිට දිවයිනේ සියලුම පාසල්වලට බෙදාහරින බවත්,දෙසැම්බර් මස 01-04 වන විට ඒවා සිසුන්ට ලබාදී නිම කළ යුතු බවත්, ඒ නිසාම දෙසැම්බර්  01-04 කාලයේ විදුහල්පතිවරුන්ට නිවාඩු ලබානොගත යුතු බව දැන්විය යුතුව ඇති බවත් කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Rate this item
(0 votes)