May 09, 2024

'මේ ආණ්‌ඩුව කන වේයෝ ඉන්නෙ ආණ්‌ඩුව ඇතුළේ මිස පිට නොවෙයි' - ඇමති රාජිත හෙළි කරයි

November 27, 2015

මේ ආණ්‌ඩුව කන වේයන් සිටින්නේ ආණ්‌ඩුව ඇතුළත මිස පිටත නොවේ යැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ පසුගියදා හොරණ යාල වේරවත්ත ප්‍රදේශයේදී පානීය ජල ව්‍යාපෘතියක්‌ ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව පැවැති ජන හමුවක්‌ අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඇමතිවරයා මෙසේද පැවසී ය.

“යහපාලනයේ මූලික අරමුණ දුප්පත්කම නැති කිරීමයි. මෙතෙක්‌ ආණ්‌ඩු ආවා. ගියා. මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන්නේ මොනවද කියලවත් ජනතාව දන්නේ නැහැ. අපි සියලුම පක්‍ෂ නායකයො ගිවිසුම් ගහලා අත්සන් කරල ජනතාවට පොරොන්දු වුණා යහපාලනය යන්නෙ මෙහෙමයි කියල. එයින් පිට යන්න කාටවත් බැහැ. නමුත් අද සමහර වෙලාවට සමහරු ව්‍යාපාරිකයෙක්‌ වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. ජනතාව වෙනුවෙන් නොවෙයි. එක්‌සත් ජාතික පක්‍ෂයෙ අන්තිම රැලිය නගර ශාලාවෙ තිබෙන වෙලාවෙ එය සරසන්න ගොඩක්‌ අය සහභාගි වුණා එතැනදී වෙඩි තිබ්බේ ඇවන්ගාඩ් එකේ අය. එය පිටුපස හිටියෙ ඝෝඨාභය. සමහරු කියනව යහපාලනයට මොනව වෙයි ද දන්නෙ නැහැ මේ ඇවන්ගාඩ් එක හින්ද කියල. මොනව වෙන්නද? යහපාලනය බබළනව. යහපාලනයට මොනව හරි වෙන්නෙ ඒ අයට කත් ඇද්දොත් විතරයි.“

“මේ ආණ්‌ඩුව හැදුවෙ අපි. මේ වගේම විශාල පෙරළියක්‌ සිදු කරන්න බණ්‌ඩාරනායක මහත්තය ආණ්‌ඩුව හැදුවෙ ඒ ආණ්‌ඩුවත් ඉදිරියට ගෙනියන්න පිලිප් ගුණවර්ධන විලියම් සිල්වලා මහ කැපකිරීමක්‌ කළා ඒ අය ප්‍රගතශීලී ඇමැතිවරු, ඒ අය ජනතාව වෙනුවෙන් කතා කළා. අන්තිමේදී එළියට බහින්න වුණා. බණ්‌ඩාරනායක කොටු වුණා. පසුව මරණයට පත් වුණා. බුද්ධරක්‌තල සෝමාරාමල හිටියෙ පක්‍ෂය ඇතුළේ අදත් එජාපය ඇතුළේ බුද්ධරක්‌තලා සෝමාරාමල ඉන්නව. ඒ අයව වර්තමාන බණ්‌ඩාරනායක මෛත්‍රී හා රනිල් හරියට අවබෝධ කරගත යුතුයි.“ යැයි හෙතෙම සඳහන් කළේය.

“මේ ආණ්‌ඩුව කන වේයෝ ඉන්නෙ ආණ්‌ඩුව ඇතුළ මිස පිට නොවෙයි. රාජපක්‍ෂලාට මේ ආණ්‌ඩුව හොල්ලන්න බැහැ. ඔවුන්ට හොල්ලන්න තිබුණා අපි හිටියා නම්, මේ ආණ්‌ඩුව හොල්ලන්න ඔවුන්ගෙ ගැත්තන්ව දැන් පාවිච්චි කරනව. ඝෝඨාභය කොයිතරම් එක්‌සත් ජාතික පාක්‍ෂිකයන්ට කෙනෙහිලිකම් කළාද? මේ අයව බලයට ගෙනත් තියෙන්නෙ ඇවන්ගාඩ්. අපිව දිනවන්නෙ ජනතාව. ඒ අය නෙවෙයි. අපි මෙතැන ඉන්නෙ ජනතාව හින්ද මිස මුදල් දෙන මුදලාලිලා නිසා නොවෙයි.

දේශපාලනය ගැන නිසි අවබෝධයක්‌ නැති අය පෙරහැරේ යන කොට සේරම අය එනව. කසකාරයො බර අදින අලි වගේම ඔළුබක්‌කො බොරු කකුල්කාරයො රූකඩයො ඉන්නව. පෙරහැරේදී නම් ඒ අයව හඳුනා ගන්න ලේසියි. නමුත් මෙතැනදී මේ අයව හඳුනා ගන්න අමාරුයි. ඒ නිසා ජනතාව අවබෝධයෙන් කටයුතු කරල තීන්දු ගත යුතු යුගයක්‌.“ යැයි අමාත්‍යවරයා පැවසී ය. 

Rate this item
(0 votes)
Last modified on Friday, 27 November 2015 15:05