May 05, 2024

රන්මිණිතැන්න කෞතුකාගාරයක් වෙයි?

November 27, 2015

රන්මිණිතැන්න ටෙලි සිනමා උද්‍යානය ලාභදායි ආයතනයක් බවට පත් කොට ටෙලි සිනමා ක්ෂේත‍්‍ර වල නිරත කලාකරුවන්ට සුවිශේෂ මෙහෙවරක් ඉටු කල හැකි මට්ටමට ගෙන ඒමට කටයුතු කරන බව පාර්ලිමේන්තු කටයුතු හා ජන මාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

මේ වන විට එය පාඩු ලබන තත්ත්වයට පත්ව තිබෙන බවත් නිසි ශක්‍යතා අධ්‍යනයකින් තොරව ඉදිකොට ඇති මෙම ආයතනය සංචාරකයින්ට ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කිරීම, දේශිය සංචාරකයින්ට නවාතැන් පහසුකම් ලබා ගත හැකි ස්ථානයක් බවට පත් කිරීම, භෞතික සංවර්ධන කටයුතු වැඩි දියුණු කිරීම, අලෙවි ප‍්‍රවර්ධන සැලැස්මක් ඇති කිරිම ආදී ක්ෂේත‍්‍ර පිළිබඳව වැඩිදුරටත් කරුණු අධ්‍යයනය කොට එය දියුණු කිරීමට ක‍්‍රමවේදයක් සකස් කළ යුතුව ඇතැයි පසුගියදා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති විශේෂ රැස්වීමකදී ඇමතිවරයා පැවසීය. 

මේ සඳහා විශේෂ කමිටුවක්ද මේ වන විට ඇමතිවරයා විසින් පත් කොට තිබේ. ජ්‍යෙෂ්ඨ සිනමාවේදීන්, මාධ්‍ය ආයතන වල ප‍්‍රධානීන් සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරුන්ගෙන් සමන්විත මෙම කමිටුවේ සාමාජික සාමාජිකාවන් ද මෙම අවස්ථාවට සහභාගි වූහ. 

නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා මෙම අවස්ථාවට සහභාගිවෙමින් කියා සිටියේ රන්මිණිතැන්න මේ වන විටත් පාඩු ලබන ආයතනයක් බව හා ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සරසවි චිත‍්‍රාගාරයද එවැනි තත්වයේ පවතින බවයි. 

හම්බන්තොට වැනි දුර බැහැර ප‍්‍රදේශයක රන්මිණිතැන්න පිහිටා තිබීම නිසා බොහෝ සිනමා හා ටෙලි නාට්‍ය ශිල්පී ශිල්පිණියන් එහි රූපගත කිරීම් සඳහා යාමට මැලිකමක් දක්වන බවත් ප‍්‍රමිතියෙන් බාල මට්ටමේ නිෂ්පාදන යොදා මෙහි ගොඩනැගිලි ඉදි කොට තිබෙන බවත් මේ වන විටත් එම ගොඩනැඟිලි වල ඇතැම් ස්ථාන වල බිත්ති ඉරි තලා තිබෙන බවද රන්ජන් රාමනායක මහතා මෙහිදී පැවසීය. 

අමාත්‍යාංශයේ ලේකම් වජිර නාරම්පනාව මහතා මෙහිදී අදහස් දක්වමින් රන්මිණිතැන්න ගොඩනැඟිලි වලින් වැඩි ප‍්‍රමාණයක් වසා දමා තිබෙන කීය. නමුත් මෙය වැඩි දියුණු කොට ටෙලි සිනමා කෞතුකාගාරයක් ඉදිකළ හැකිය. සිනමාව පිළිබඳව අධ්‍යයනයක් කරනු ලබන විද්‍යාර්ථයින්ට ඒ පිළිබඳ අධ්‍යයනය කළ හැකි ස්ථානයක් බවට පත් කළ හැකි වන බවද හෙතෙම පැවසිය. 

රන්මිණිතැන්න ටෙලි සිනමා උද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් නිලන්ත ගුරුසිංහ මහතා මෙහිදී පැවසුවේ මෙය නැරඹීමට දිනකට 1,500 ක පමණ පිරිසක් පැමිණෙන බවයි. වැඩිහිටියෙකුට ප‍්‍රවේශ පත‍්‍රය රුපියල් 50 කි. ශිෂ්‍යයෙකුට රුපියල් 30 කි. 

 

Rate this item
(0 votes)