May 02, 2024

ඇවන්ගාඩ් ගැන කැබිනට් ඇමතිවරු තිදෙනෙකුගෙන් පොලිස්පතිට ලිපියක්!

November 24, 2015

කිසිදු අවස්ථාවක තමන් ඇවන්ගාඩ් ප්‍රධානියා යැයි සැලකෙන නිශ්ශංක සේනාධිපති නැමැත්තාගෙන් හෝ ඇවන්ගාඩ් ආයතනයකට සම්බන්ධ කිසිවෙකුගෙන් මැතිවරණ අරමුදල් හෝ අල්ලස් ඉල්ලීමක් සිදු කර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් තමන් වෙත එල්ලකර ඇති චෝදනාවල සත්‍යය අසත්‍යයතාවය සොයා බලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා රජයේ කැබිනට් ඇමතිවරුන් තිදෙනෙකු විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුණ රණතුංග, මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න යන මහත්වරුන්ගේ අත්සනින් යුතු ව අදාළ ලිපිය පොලිස්පතිවරයා වෙත යොමු කර ඇතැයි වාර්තා වේ.

පසුගිය දා ඇවන්ගාඩ් ප්‍රධානියා යැයි සැලකෙන නිශ්ශංක  සේනාධිපති මහතා විසින් ප්‍රසිද්ධ පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් තමන්ගේ නාමයන්වලට බරපතළ ලෙස කැළැල්වන අවලාද චෝදනා නාගා ඇති බවත්,  ඇවන්ගාඩ් ප්‍රධානී නිශ්ශංක සේනාධිපති විසින් තමන්ට මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තමන් ඇවන්ගාඩ් සමාගමට එරෙහිව ක්‍රියාකරන බවත්, එම පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් තමන්ගේ නම් ප්‍රකාශ කර ඇති බව ද එම ලිපියේ සඳහන් කර තිබේ.

එසේම තමන්  ඇතුළු පිරිස අල්ලස් මුදල් ඉල්ලීම් සිදුකළ බවට ඔප්පු කළ හැකි බව ද නිශ්ශංක සේනාධිපති මහතා විසින් ප්‍රකාශ කර ඇති බව ද ඔවුන් විසින් පොලිස්පතිවරයා වෙත යොමු කළ  ලිපියේ අවධාරණය කර ඇත. 

ඇවන්ගාඩ් සමාගමට තමන් විරුද්ධවන්නේ ජනතා අවශ්‍යතාවය මත බවත්, අදාළ පුවත්පතට ලබා දී ඇති සම්මුඛ සාකච්ඡාව මගින් වගකිවයුතු කැඩ්නට් ඇමතිවරුන්වන තමන්ට එල්ලකර ඇති චෝදනාවල සත්‍යය අසත්‍යයතාවය පරීක්ෂා කර බලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා මෙලෙස පොලිස්පති ඉලංගකෝන් මහතා වෙත අදාළ ඇමතිවරුන් තිදෙනා විසින්  මෙලෙස ලිපියක් යොමු කර තිබේ.

 

Rate this item
(0 votes)