May 17, 2024

සංස්ථා 2ක ප්‍රධානීන් ඉවතට

November 23, 2015

ධීවර වරාය නීතීගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී සහ පොහොර සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ වහාම ඉවත් කරන බරපතළ දූෂණ වංචා විමර්ශන කොමිසම එම රාජ්‍ය ආයතන බාර අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම්  දී තිබේ.

රජයේ මුදල් අවභාවිත කිරීම ඇතුළු සිද්ධීන්වලට වගකිව යුතු පුද්ගලයන් ලෙස හෙළි වී ඇති ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු  නිලධාරීන් දෙදෙනෙකුගෙන් එම තනතුරේ තවදුරටත් රැඳී සිටින එක් නිලධාරියෙකු සහ වෙනත් රාජ්‍ය ආයතනයක ඉහළම තනතුරක් ලබා දී ඇති අනෙක් නිලධාරියා වහාම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස බරපතළ දූෂණ වංචා විමර්ශන කොමිසම එම රාජ්‍ය ආයතන බාර අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම්  දී ඇත.

රජයේ මුදල් අවභාවිත කිරීම ඇතුළු සිද්ධීන්වලට වගකිවයුතු පුද්ගලයන් ලෙස හෙළි වී ඇති මෙවැනි අයට රජයේ තනතුරු ලබාදීම රජයේ මුදල් අවභාවිත කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අනෙකුත් රජයේ සේවකයන්ට අනුබල දීමක් බව පෙන්වාදෙමින් කොමිසම එම රාජ්‍ය ආයතන බාර අමාත්‍යාංශ ලේකම්වරුන්ට මෙලෙස දැනුම්  දී ඇත.

මෙලෙස එම ආයතනවලින් ඉවත්කරන ලෙස දැනුම් දී ඇත්තේ ධීවර වරාය නීතීගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී පියල් අබේසේකර සහ පොහොර සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ චන්දන පැල්පිට යන මහත්වරුන් ය.

ධීවර වරාය නීතීගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ පියල් අබේසේකර මහතා රජයේ මුදල් අවභාවිත කිරීම ඇතුළු සිද්ධීන්වලට වගකිවයුතු පුද්ගලයෙකු ලෙස හෙළි වූ පසුව ද ඔහුට එම තනතුරේ තවදුරටත් රැඳී සිටීමට ඉඩ ලබා දී ඇති බවත් ධීවර වරාය නීතීගත සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ලෙස  කටයුතු කළ චන්දන පැල්පිට මහතා ඉන් ඉවත් කළ පසු පොහොර සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙස පත්කොට ඇති බවත් කොමිසමට තොරතුරු ලැබී ඇත.

ඒ බව කොමිසමට වාර්තාවීමෙන් අනතුරුව එම නිලධාරීන් දෙදෙනා රජයේ ආයතනවලින් ඉවත්කරන ලෙස එම රාජ්‍ය ආයතන බාර අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දුන් කොමිසම ඒ පිළිබඳ පිටපත් මගින් ජනාධිපති ලේකම්වරයාට සහ අමාත්‍යාංශ බාර ඇමතිවරුන්ට ද දැනුම් දුන්නේ ය.

 

Rate this item
(0 votes)