May 13, 2024

ගංවතුරෙන් උතුර යට වෙයි

November 18, 2015

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් උතුරේ පිහිටි ජලාශයන් සියල්ලක්ම වාන් දැමීම හේතුවෙන් දිස්ත්‍රික් රැසක් යට වී ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි.

යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්කවලට එමගින් වැඩි වශයෙන් බලපෑම් එල්ල වී ඇති බව යුද හමුදාව සඳහන් කරයි. මේ වනවිට උතුරේ පවුල් 38,018 කට අයත් 1,07,262 ක ජනතාවක් පීඩාවට පත් ව සිටී.

පීඩාවට පත් වූවන්ගෙන් වැඩිම පිරිසක් යාපනය දිස්ත්‍රික්කයට අයත්වන අතර එම ගණන 76,637ක් පමණ වන බවට ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අතර ගංවතුර තත්ත්වයෙන් දෙවැනි වැඩිම බලපෑම එල්ල වී ඇති කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවිතාරක්ෂක කටයුතු හා ඔවුන්ට පහසුකම් සැලසීමේ කටයුතු වෙනුවෙන් යුද හමුදා සෙබලුන් 1,000 කට ආසන්න පිරිසක් කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් අමල් කරුණාසේකර මහතාගේ උපදෙස් මත යොදවා ඇති බවට ද කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.

ගංවතුර තත්ත්වය හේතුවෙන් කරච්චි, වඩ්ඩකච්චි, ධර්මපුරම්, පරන්තන්, අක්කරායන්කුලම්, පුනරීන්, මුක්කම්පන් හා ඉරණමඩු ප්‍රදේශවලට වෙත කිලිනොච්චියේ වැඩිම බලපෑමක් එල්ල වී ඇති අතර එම ප්‍රදේශ හෙලිකොප්ටර් මගින් නිරීක්ෂණ කර  ජනතාවට සහන සැලසීමට ද කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන ඇත.

වන්නි රොමේෂ් මධූෂංඛ

 

Rate this item
(0 votes)