May 12, 2024

ඇමති රන්ජන් 'ඇවන්ගාඩ් හඬපට 2ක්' රැගෙන අල්ලස් කොමිසමට යයි (VIDEO)

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා හා අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ලේකම්වරයෙකු හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති සයුරු සමරසුන්දර මහතා අතර ඇති වූ බව පැවසෙන දුරකථන සංවාද ඇතුළත් හඬ පට දෙකක් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක විසින් අල්ලස් කොමිසමට බාර දී තිබේ.

අල්ලස් ලබා දීමට තැත් කිරීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපතිවරයාට එරෙහිව පැමිණිල්ලක් ගොනු කළ බව කියා සිටි නියෝජ්‍ය අමාත්‍යවරයා අල්ලස් මුදලක් බාර ගැනීම පිළිබඳ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ලේකම් සයුරු සමරසුන්දර මහතාට එරෙහිවද පැමිණිලි කළ බව හෙතෙම ප්‍රකාශ කළේය.

ඇවන්ගාඩ් සමාගමේ සභාපතිවරයා හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා අතර ඇතිවූ බව පැවසෙන ඉහත කී දුරකථන සංවාදය ඊයේ(17) පළමු වරට අන්තර්ජාලයට එක්කර තිබිණි. 

හඬ පටයට අනුව, අමාත්‍යවරයා වෙනුවෙන් තමා රුපියල් මිලියන 5ක මුදලක් ලබාගත් බව එහිදී ඇමති ලේකම්වරයා විසින් තහවුරු කරයි.

මෙම සංවාදය අන්තර්ජාලයට එක්වීමත් සමග අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ නිල ෆේස්බුක් අඩවියෙන් තවත් හඬ පටයක් නිකුත් කරන අතර එහි සඳහන් වූයේ ඉහත කී මුදල ලබා ගැනීම අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කළ බව ලේකම්වරයා විසින් ඇවන්ගාඩ් සමාගමේ සභාපතිවරයාට දන්වා සිටින ආකාරයයි.

අන්තර්ජාලයට එක් කොට තිබෙන ඉහත කී හඬ පට දෙකම අද (18) රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් අල්ලස් කොමිසමට බාරදුන් අතර ඔහු එහිදී අවධාරණය කළේ චෝදනා සම්බන්ධයෙන් දෙපාර්ශවය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

"හඬ පට වලින් පැහැදිලි වනවා මුදල් හුවමාරු වූ බවට මොකටද මේක හුවමරු වූයේ කියල හොයන්න අවශ්‍යයි. අමාත්‍ය රාජිත සේනාරත්න කියනවා ඔහු අල්ලස ප්‍රතික්ෂේප කල බව. එහෙත් ඔහුගේ ලේකම්වරයා ඒ අල්ලස බාර ගෙන තිබෙනවා, ඒකත් වරදක්. ඇවන්ගාඩ් සමාගම අල්ලස් ලබා දෙන්නත් උත්සහ කරලා තියෙනවා, ඒකත් වරදක්" යැයි රන්ජන් රාමනායක මහතා පෙන්වා දුන්නේය.

මෙම හඬ පටවලට අමතරව රුපියල් මිලියන 5ක් ගෙවූ බවට සඳහන් වන චෙක් පතක පිටපතක්ද රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යයට ඉදිරිපත් කළේය.

එම වීඩියෝව පහතින් නරඹන්න

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 19 November 2015 17:23