May 09, 2024

එක්‌නැලිගොඩ සිද්ධියේ සැකකාර හමුදා නිලධාරියෙක් තවත් ඝාතනයකට සම්බන්ධයි

November 18, 2015

නිදහස්‌ මාධ්‍යවේදියකු වූ සම්පත් ලක්‌මාල් සිල්වා ඉකුත් 2006 වර්ෂයේ දී පැහැරගෙන ගොස්‌ හිසට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට එක්‌නැලිගොඩ ඝාතනයේ සැකකරුවකු ලෙස මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත ව සිටින ලුතිනන් කර්නල්වරයකු සම්බන්ධ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.

නිදහස්‌ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරමින් සිටි සම්පත් ලක්‌මාල් සිල්වා මහතා ඝාතනය කරනු ලැබුවේ ඉකුත් 2006 වර්ෂයේ ජුලි මස 01 වැනි දා දෙහිවල ජයවර්ධන පාරේ දී ය.

ලක්‌බිම, සත්දින, අරටුව සහ ටී.එන්.එල්. මාධ්‍ය ආයතනවල නිදහස්‌ මාධ්‍යවේදියකු ලෙස සම්පත් ලක්‌මාල් සිල්වා මහතා වසර ගණනාවක්‌ තිස්‌සේ රාජකාරි කළේ ය.

අපරාධ සහ ආරක්ෂක තොරතුරු වාර්තාකරුවකු ලෙස කටයුතු කරමින් සිටි ඔහු පොලීසියේ මෙන් ම යුද හමුදාවේ උසස්‌ නිලධාරීන් සමග ද සමීප ඇසුරක්‌ පැවැත් වීය.

ලක්‌මාල් සිල්වා මහතා සිය මව සමඟ බොරලැස්‌ගමුවේ වේරහැර පිහිටි නිවසක පදිංචිව සිටියේ ය. 2006 වර්ෂයේ ජුනි මස 30 වැනි දා ඔහු සිය නිවසේ රාත්‍රි ආහාර ගනිමින් සිටිය දී හිතවත් හමුදා නිලධාරියකුගෙන් දුරකතන ඇමතුමක්‌ ලැබී තිබිණි.

ඉන්පසු ඔහු තම මිතුරකු හමුවීමට යන බව මවට පවසා එම අවස්‌ථාවේම නිවසින් පිට වී ඇත.

යුද හමුදාවට සම්බන්ධ පිරිසක්‌ සම්පත් ලක්‌මාල් අතරමග දී පැහැරගෙන ගොස්‌ දෙහිවල ජයවර්ධන පාරේ දී හිසට වෙඩි තබා ඝාතනය කර පලාගොස්‌ ඇතැයි පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

ලක්‌මාල් ඝාතනය කළ ස්‌ථානයේ තිබී මිලිමීටර් 09 වර්ගයේ පිස්‌තෝල උණ්‌ඩ 03 ක් ‌ද පොලීසිය මගින් සොයාගන්නා ලදී.

කිසියම් තොරතුරක්‌ ලබාදුන් බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක්‌ මත මෙම ඝාතනය සිදු වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

එක්‌නැලිගොඩ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ ලුතිනන් කර්නල්වරුන් දෙදෙනාගෙන් එක්‌ අයකු ලක්‌මාල් සිල්වා ඝාතනය මෙහෙයවා ඇති බවත් ඔහු මරා දමා ඇත්තේ මෙම කර්නල්වරයාගේ අවශ්‍යතාව මත බව මෙතෙක්‌ කළ විමර්ශනවලින් හෙළිදරව් වී ඇත.

ප්‍රදීප් එක්‌නැලිගොඩ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ලුතිනන් කර්නල්වරු දෙදෙනෙක්‌ සහ හමුදා සාමාජිකයෙක්‌ බන්ධනාගාරගත කර සිටී.

Rate this item
(0 votes)