May 08, 2024

මාරුවීම් ලැබූ සියලු වෛද්‍යවරුන්ට සතියක කාලයක් 

November 17, 2015

ස්‌ථාන මාරුවීම් ලැබ එහෙත් එය ක්‍රියාත්මක නොකරන වෛද්‍යවරුන් 3,870 දෙනා සතියක්‌ ඇතුළත තමන්ට මාරුවීම් ලද රෝහලට යා යුතු බවට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා උපදෙස්‌ දී ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගය මත සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇති අතර ඊයේ (16) සිට ඊළඟ සඳුදා (23) දක්‌වා ඒ වෙනුවෙන් ස්‌ථාන මාරු ක්‍රියාත්මක කිරීමේ සතියක්‌ ප්‍රකාශයට පත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම තීරණයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවේ ඒකමතික එකඟතාවය පළ කළ බව එම සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා සඳහන් කරයි.

වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්‌ථාන මාරු රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් ලබාදෙන අතර එය ක්‍රියාත්මක කිරීම රෝහල් අධ්‍යක්‌ෂවරු ඇතුළු වෛද්‍ය පරිපාලකයන් සාමාන්‍ය පුරුද්දක්‌ බවට පත්කර ගෙන ඇතැයි ද වෛද්‍ය හේරත් මහතා පෙන්වා දුන්නේ ය.

මෙම තත්ත්වය තම සංගමය විසින් සෞඛ්‍ය ඇමැතිවරයාට පෙන්වා දෙන ලදුව වහාම ක්‍රියාත්මක වී අදාළ අධ්‍යක්‌ෂවරුන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා ලෙස ඇමතිවරයා සෞඛ්‍ය ලේකම්වරයාට උපදෙස්‌ දී ඇතැයි ද කීය.

වෛද්‍යවරුන්ගේ එම ස්‌ථාන මාරුවීම් රෝහල් අධ්‍යක්‌ෂවරු විසින් ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වනවිට අවධානයෙන් පසුවන බවත් වෛද්‍ය හේරත් මහතා ප්‍රකාශයට පත් කළ ස්‌ථානමාරු ක්‍රියාත්මක කිරීමේ සතිය අවසන්වන විටද රාජ්‍ය සේවා කොමිසමේ නියෝග පිළි නොපදින සෞඛ්‍ය බලධාරීන්ට හා රෝහල් අධ්‍යක්‌ෂවරුන්ට එරෙහිව රාජ්‍ය සේවා කොමිසමට සහ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට තීරණය කළ බව ද පැවසී ය.

 

Rate this item
(0 votes)