May 08, 2024

දකුණු ආසියාතික තරුණ සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ දී

November 17, 2015

පස්වන වරටත් සංවිධානය වන දකුණු ආසියාතික තරුණ සමුළුව හෙවත් SAYC 2015 එළඹෙන දෙසැම්බර් මස 11 සිට 15 දක්වා මාලඹේ හොරයිසන් ජාත්‍යන්තර පාසලේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඉන්දියාවේ Blue Ribbon Movement (BRM) හි අනුශාසකත්වය යටතේ එහි ශ්‍රී ලංකා ශාඛාව විසින් සංවිධානය කරනු මෙම සමුළුව දකුණු ආසියාතික කලාපයේ තරුණ නායකයින්ට එක් රැස් වී කලාපීය වශයෙන් වැදගත්කමක් උසුලන පොදු ප්‍රශ්ණ සාකච්ඡා කිරීමට සහ ඔවුනොවුන් අතර සහයෝගීතාවය වර්ධනය කරගැනීමට කදිම වේදිකාවක් වනු ඇත.

දකුණු ආසියාතික කලාපයේ සාමය, සහජීවනය හා තරුණ පරපුර ප්‍රවර්ධනය මෙවර සමුළුවේ තේමාව වේ. එමගින් රටවල් අතර රටවල් අතර සාමය සෞභාග්‍ය ඇති කිරීම මෙන්ම තිරසාර සංවර්ධනය ලඟාකරගැනීමේ දී කලාපීය සහයෝගීතාවයේ ඇති වැදගත්කම පෙන්වා දීම, කලාපය තුළ සාමය ප්‍රවර්ධනයේ දී තරුණ පරපුරේ කාර්යභාරය හා කලාපීය ගැටළුවලට විසදුම් සෙවීමේ දී තරුණ පරපුරේ අදහස් යෝජනා ප්‍රයෝජනයට ගැනීම කෙරෙහි ද මෙවර සමුළුවෙන් විශේෂ අවධානයක් යොමු කෙරේ.

දකුණු ආසියාතික කලාපය නියෝජනය කරමින් තරුණ නායකයන්, සමාජ ක්‍රියාකරුවන්, සිසුන් ඇතුළු 100 කට අධික පිරිසක් සහභාගී වීමට නියමිත මෙවර සමුළුවෙන් ජාති, ආගම් වැනි පටු මානයන්ගෙන් ඔබ්බට යමින් පොදු සමාජ කතිකාවතක් ගොඩනැගීම මූලික අරමුණකි.

මෙමගින් දකුණු ආසියාතික තරුණ පරපුර නිසි දැක්මක් සහිත නායකයින් කිරීමට පෙර පුහුණුවක් සැලසෙන අතරම, තරුණ හඬ හා ජවය වඩාත් ඵලදායි ලෙස කලාපීය දියුණුව කෙරෙහි යොදා ගැනීමට ද මඟ පෑදෙනු ඇත.

මෙහි සමාරම්භක දිනය එළඹෙන දෙසැම්බර් මස 11 වන දින පැවැත්වීමට නියමිත අතර තෙදිනක් පුරා ආර්ථික, දේශපාලන, සමාජ, සංස්කෘතික වශයෙන් වැදගත් කාලීන තේමාවන් රැසක් පිළිබඳ සම්මන්ත්‍රණ, දේශන, වැඩමුළු, සාකච්ඡා මෙන්ම සංස්කෘතික අංග ඇතුළු විවිධ ක්‍රියාකාරකම් රැසක් ද මෙහි ප්‍රධාන වැඩසටහනට ඇතුළත්ය.

 

තුර්කියේ පැවති පස්වන ලෝක තරුණ කොංග්‍රසයට සහභාගී වූ දකුණු ආසියාතික තරුණ නියෝජිත කණ්ඩායමකගේ එකමුතුවක ප්‍රතිඵලයක් ලෙසින් දකුණු ආසියාතික තරුණ සමුළුව උපත ලැබීය. ඒ කලාපීය වශයෙන් සහයෝගීතාවය ගොඩනැගීමට තරුණ පිරිස් සඳහා නිසි අවකාශයක් නොතිබූ බැවිනි. ඒ අනුව පළමු දකුණු ආසියාතික සමුළුව 2011 වසරේ දී ඉන්දියාවේ බැංගලෝර්හි දී ද, 2012 වසරේ දී පකිස්ථානයේ ඉස්ලාමාබාද්හි දී හා 2013 වසරේ දී නේපාලයේ භක්තපූර්හි දී ද පැවැත්වුණි. නමුත් 2014 වසරේ දී බංගලාදේශයේ දී පැවැත්වීමට නියමිතව තිබූ සමුළුව එරට පැවති දේශපාලන වාතාවරණය සැලකිල්ලට ගනිමින් අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුණි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 17 November 2015 14:19