May 05, 2024

දිස්ත්‍රික්ක 14 කට තවමත් වර්ෂාවෙන් පීඩා

November 17, 2015

දින 03 ක කාලය තුළ දී දිස්ත්‍රික්ක 14කට ඇති වූ අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් පවුල් 3021කට අයත් පුද්ගලයන් 10,425 ක් ආරක්ෂිත නිවාස 99 ක රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ කාලය තුළ ඇති වූ දැඩි සුළං සහ වර්ෂා තත්ත්වය මත ඇති වූ ජල ගැලීම් තුළින් නිවාස 1265 කට හානි සිදුව තිබෙන අතර, පුද්ගලයන් තිදෙනෙකු මියගොස් එක් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

පැවැති අඩු පීඩන තත්ත්වය ක්‍රමක්‍රමයෙන් ඉන්දියාව දෙසට ගමන් කරමින් තිබෙන බවත් මේ නිසා ඉදිරි දිනවල වර්ෂා තත්ත්වය ක්‍රමක්‍රමයෙන් අඩු වී යන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පසුගිය දින කිහිපය පුරා පැවැති අධික වර්ෂා තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 14ක පවුල් 22,168කට අයත් පුද්ගලයන් 82,276 ක් පීඩාවට පත් ව තිබෙන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

පැවැති අඩුපීඩන තත්ත්වය ඉවත්ව ගියද අද (17) දිනය තුළ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥ නදී රූපසිංහ මහත්මිය සඳහන් කළා ය.

වැසි සමග අකුණු ඇතිවන නිසා අකුණු අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙසද නදී රූපසිංහ මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වැඩිම පිරිසක් පීඩාවට පත් ව තිබෙන්නේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන්වන අතර එම දිස්ත්‍රික්කයේ පවුල් 4656 ක පුද්ගලයෝ 16,450 පීඩාවට පත් ව සිටී.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වැඩිම පිරිසක් අවතැන් වී සිටින්නේ වවුනියාව දිස්ත්‍රික්කයේවන අතර, එම දිස්ත්‍රික්කයේ පවුල් 2571කට අයත් පුද්ගලයන් 8,912 ක් ආරක්ෂිත කඳවුරු 68ක රඳවා සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය, මහනුවර, බදුල්ල, පුත්තලම, කුරුණෑගල, ගම්පහ, කොළඹ, යාපනය, මුලතිව්, කිලිනොච්චි, මන්නාරම, වවුනියාව, මාතලේ, ත්‍රිකුණාමලය, මඩකලපුව යන දිස්ත්‍රික්කවල ජනතාව මෙසේ පීඩාවට පත් ව සිටී. 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 17 November 2015 10:23