April 28, 2024

මෛත්‍රි ඉන්නාතුරු ඡන්දයකට යන්නෙ නෑ - ගම්මන්පිලගෙන් රතු එළියක් (VIDEO)

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකත්වයේ ඉන්නා තුරු ඔහු සමග මැතිවරණයකට නොයන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

යමක් එකම තියරියට කරලා වෙනස් ප්‍රතිඵල දකින්න එපා යැයි ඇල්බට් අයිස්ටයින් පවා කියා ඇති බවත්, ජනවාරි 08 හා අගෝස්තු 17 මැතිවරණවලින් එම තියරිය සනාථ වූ බවත්, ඒ හේතුවෙන් ඔහුගේ නායකත්වයෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග නොකිරීමට තීරණයක් ගෙන අවසන් බවත් ඒ මහතා කියයි.

ප්‍රසන්න රණතුංග හා කුමාර වෙල්ගම මන්ත්‍රීවරු පවා මෛත්‍රීගේ නායකත්වය යටතේ ඉදිරි පළාත් පාලන මැතිවරණයට ගියහොත් අපිට දිනන්න බැරි බව පවසා ඇතැයි ද අද (16) පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස හෙතෙම කියා සිටියේ ය.

ඒ අනුව සන්ධානයට ආදරයක් ඇති නම් මෛත්‍රීපාල ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ එහි නායකත්වයෙන් අස්වන ලෙස යැයි ද ඔහු එහි දී පැවසී ය.

එසේම දුමින්ද දිසානායක ඇමතිවරයා විසින් ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන රැස්වීම්වලට නොයන්නැයි ශ්‍රීලනිප පාක්ෂිකයින්ට ලිපි මගින් දන්වා ඇති බව මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස මන්ත්‍රීවරයා කියා සිටියේ “ඔවා දෙනු පරහට” බවයි.

දුමින්ද දිසානායක හා මෛත්‍රිපාල සිරිසේන පක්ෂය ආක්‍රමණය කර පක්ෂය පරාජය කළවුන් බව ගම්මන්පිල මහතා පෙන්වා දුන්නේ ය.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 16 November 2015 16:29