May 13, 2024

මහ වැස්සෙන් 38,000 ක් අවතැන් 

November 16, 2015

පවපතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 38,000 ක් පමණ තවමත් පීඩාවට පත් ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලය ප්‍රදේශයට ආසන්නයේ ස්ථාන ගත වී ඇති බැවින් අද (16) දිනය තුළත් බොහෝ ප්‍රදේශවලට මිලි මීටර් 100 ඉක්ම වූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගෙවී ගිය දින කිහිපය පුරා දිස්ත්‍රික්ක 09 කට ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 7,530 කට අයත් පුද්ගලයන් 26,984 ක් පීඩාවට පත් ව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 

මෙම පිරිසෙන් පවුල් 685 කට අයත් පුද්ගලයන් 2,134 ක් ආරක්ෂිත කඳවුරු 43 ක රඳවා සිටින බවත්, නිවාස 450 කට අධික ප්‍රමාණයකට හානි සිදු ව තිබෙන බව ද එම මධ්‍යස්ථානය විසින් ඊයේ (15) පස්වරුවේ නිකුත් කළ දෛනික වාර්තාවේ සඳහන් වේ. 

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ජලාශ 22 ක් වාන් දමමින් තිබෙන බවත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු කුඩා ජල මූලාශ වාන් දමමින් තිබෙන බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මීට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩා වැව් 05 කට වැඩි ප්‍රමාණයක් කැඩී ගොස් තිබෙන බව ද වාර්තා වේ. 

පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් නුවරඑළිය, බදුල්ල, පුත්තලම, ගම්පහ, ත්‍රිකුණාමලය, මාතලේ, යාපනය, කිලිනොච්චිය, මුලතිව් දිස්ත්‍රික්කවල මාර්ග රැසක් ජලයෙන් යට වී තිබීම නිසා ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී තිබිණ.  

ජලයෙන් යට වී තිබෙන මාර්ගවල ගමන් කිරීමේ දී තිරිංග දෝෂ ඇති විය හැකි නිසා සහ වළවල් හෑරී තිබීමට හැකි නිසා එම මාර්ගවල ගමන් කිරීමේ දී ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස පොලිස් මූලස්ථානය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

මීට අමතර ව කඳු ආශ්‍රිත මාර්ගවල ගමන් කරන්නන්, පස් කඳු කඩා වැටීම්, ගල් පෙරළීම් හා මීදුම ඇතිවීම් පිළිබඳ සහ අධික වැසි ඇතිවන අවස්ථාවේ දී වංගු හරහා යෑමේ දී ඉදිරියෙන් සහ පසු පසින් ගමන් ගන්නා වාහන පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි. 

අපදාවන්ට ලක් වී ඇති සියලු ජනතාවට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ආපදාවන්ට ලක්වූ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන්ට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය උපදෙස් ලබාදුන් බව ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතා පවසයි. 

ආපදා තත්ත්වයක දී භාවිත කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට රජයෙන් මුදල් ලබා දී තිබෙන බවත්, මීට අමතර ව තවත් මුදල් අවශ්‍ය නම් ඒ පිළිබඳ වාර්තා අමාත්‍යාංශයට භාර දෙන ලෙසටත් දන්වා සිටි බව ද ඔහු පවසා සිටියේ ය.

අයහපත් කාලගුණ තත්ත්වය නිසා හානි වූ නිවාස පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙසටත්, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බවත්, අදාළ වාර්තා ලැබුණු පසු මහා භාණ්ඩාගාරයට යොමු කර නිවාස හා දේපළ හානි සඳහා ජනතාවට පහසුකම් සළසන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ය.

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලය ප්‍රදේශයට ආසන්නයෙන් ස්ථානගත වී තිබෙන නිසා දිවයින වටා මුහුදු තීරයන්ට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් මීට අමතරව සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 70 ත්, 80ත් දක්වා ඉහළ යා හැකි බවත්, කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ය. මේ නිසා ධීවරයන් මේ පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බවත්, රට තුළට ඇතිවන වැසි සමග අකුණු ඇතිවිය හැකි නිසා සිදුවන  අකුණු අනතුරු වළක්වා ගැනීමට ජනතාව කටයුතු කළ යුතු බව ද ඔහු පවසා සිටියේ ය. එමෙන්ම කඳු ආශ්‍රිත ප්‍රදේශවල ජීවත්වන අය නාය යෑම් පිළිබඳ සැලකිලෙන් පසුවන ලෙස ද දන්වා සිටී.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 103 කට අයත් පුද්ගලයන් 393 ක් ආරක්ෂිත නිවාස 10 ක රඳවා සිටින අතර, බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 140 කට අයත් පුද්ගලයෝ 487 දෙනෙක් ආරක්ෂිත නිවාස 12 ක රඳවා සිටී.

පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 1,786 කට අයත් පුද්ගලයන් 5,731 ක් පීඩාවට පත්ව සිටින අතර, ඉන් පවුල් 06 කට අයත් පුද්ගලයන් 22 ක් ආරක්ෂිත නිවාසයක රඳවා සිටින අතර, මුලතිව් දිස්ත්‍රික්කයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් පවුල් 887 කට අයත් පුද්ගලයන් 2793 ක් පීඩාවට පත්ව තිබෙන අතර, එම පිරිසෙන් පවුල් 295 කට අයත් පුද්ගලයන් 833 ක් ආරක්ෂිත නිවාස 13 ක රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. 

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පවුල් 811 කට අයත් පුද්ගලයන් 2,712 ක පීඩාවට පත්ව තිබෙන අතර, එම පිරිසෙන් පවුල් 85 කට අයත් පුද්ගලයෝ 209 දෙනෙක් ආරක්ෂිත නිවාස 03 ක රඳවා සිටිති. මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 30 කට අයත් 116 දෙනෙකු පීඩාවට පත්ව තිබෙන අතර, එම පිරිසෙන් පවුල් 05 කට අයත් පුද්ගලයන් 24 දෙනෙකු ආරක්ෂිත නිවාස 03 ක රඳවා සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ දෛනික වාර්තාවේ සඳහන් වේ. 

මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 14 කට අයත් පුද්ගලයන් 42 ක් ආරක්ෂිත නිවාසයක රඳවා සිටින අතර, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පවුල් 1509 කට අයත් පුද්ගලයන් 5946 ක් පීඩාවට පත් ව තිබෙන අතර, එම පිරිසෙන් පවුල් 57 කට අයත් පුදගලයන් 124 ක් ආරක්ෂිත නිවාස 02 ක රඳවා සිටින බව ද එම නිවේදනය මගින් පෙන්වා දී ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 1251 කට අයත් පුද්ගලයන් 5251 පීඩාවට පත්ව තිබෙන අතර, යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 733 කට අයත් පුද්ගලයන් 2686 පීඩාවට පත්ව තිබෙන බවද අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 16 November 2015 09:28