May 13, 2024

ධීවරයින්ට ඇමතිගෙන් සහනයක්

November 15, 2015

ධීවර සංස්ථාවට මාලු වෙළදුන් මාලු ලබාදෙන්නේ බිල් පියවීමේ ක්‍රමයට බැවින්, එම ණය එකවර ඔවුන්ට ලබාදීමට කටයුතු කරන බවත් ඒ සදහා තමාට යම් කාලසීමාවක් ලබාදෙන ලෙසත්, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාලු වෙළදුන්ගෙන් ඉල්ලීමක් කළේය.

ඔහු මේ බව පැවසූවේ පසුගියදා පෑළියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළද පොළ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමිනි. 

බිල් පියවීමේදී පවා ධීවර සංස්ථාවේ සමහර නිළධාරින් හා සේවකයන් මුදල් වංචාවල නිරත වන බව තමාට දැනගන්නට ලැබුණු බවත්, එසේ මුදල් වංචාවල යෙදුණු අය පිළිබදව වහාම තමාට දැනුම් දෙන ලෙසත්, ඔවුන්ට නීතිමය රාජකාරී කිරීමට පසුබට නොවන බවත්, අමාත්‍යවරයා සඳහන් කළේය.

ධීවර සංස්ථාවේ නිලධාරීන් අමතා අමාත්‍යවරයා කියා සිටියේ, මාලු වෙළදපොළ පවත්වාගෙන යාමේ වගකීම දැඩි ලෙස දැරිය යුතු අතර, ප්‍රමිතියෙන් තොර මාලු වෙළදපොළ තුළට රැගෙන එන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසයි. එමෙන්ම වාහන තදබදය අවම කිරීමටත්, මත්ස්‍ය වෙළ‍දපොළ භූමියේ පිරිසිදුභාවය පිළිබදව වගකීමෙන් සොයා බලන ලෙසත්, අමාත්‍යවරයා පැවසීය.

තවද තහනම් පන්න ක්‍රම භාවිතා කර අල්ලන මසුන්, පෑළියගොඩ මත්ස්‍ය වෙළඳපොළෙහි ඇති අතර, ඒ පිළිබදව සොයා බලන ලෙස නාරා ආයතනයේ නිළධාරීන්ට හා ධීවර සංස්ථාවේ නිළධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් ලබාදෙන ලදි.

 

Rate this item
(0 votes)