May 10, 2024

'රෝහල්වල ඇත්තේ බාල බෙහෙත්' - හෙද සංගමය

November 13, 2015

දිගින් දිගටම ප්‍රමිතියෙන් බාල ඖෂධ ශ්‍රී ලංකාවට ආනයනය කරන බවට චෝදනා කරන සමස්ත ලංකා හෙද සංගමය, මේ වන විට ප්‍රමිතියෙන් තොර ඖෂධ 24 කට ආසන්න ප්‍රමාණයක් රෝහල්වල භාවිත කෙරෙන බව ප්‍රකාශ කරයි.

මේ වසරේ පළමු මාස 10 තුළ ප්‍රමිතියෙන් බාල එම ඖෂධ වර්ග 24 රෝහල් පද්ධතිය තුළ බෙදා හැරීම මගින් පැහැදිලි වන්නේ ප්‍රතිපත්තියකට අනුව රටේ ඖෂධ ගෙන්වීම සහ බෙදා හැරීම සිදු නොවන බව යැයි සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට ඖෂධ ගෙන් වීමේ ක්‍රියාවලිය සහ නියමිත ප්‍රමිතියෙන් අඩු ඖෂධ හඳුනා ගැනීමේ ක්‍රියාවලිය දුර්වල මට්ටමක පවතින බවයි ඔහු කියා වැඩිදුරටත් සිටියේ.

ප්‍රතිජීවක ඖෂධ, දියවැඩියා රෝගය සඳහා ලබා දෙන ඖෂධ, කුඩා ළමුන් සඳහා වූ ඖෂධ, මෙන්ම ඇදුම හා හතිය වැනි රෝග වලට ප්‍රතිකාර කෙරෙන ඖෂධ ද ප්‍රමිතියෙන් බාල ඖෂධ අතර ඇති බව ඔහු පෙන්වා දෙයි.

ප්‍රමිතියෙන් බාල ඖෂධ භාවිතා කිරීම මගින් ඇතිවූ ගැටළු සහගත තත්ත්වයන් පිළිබඳව රෝහල්වලට පැමිණිලි ලැබෙමින් තිබෙන බව පැවසූ ඔහු ඉන් අනතුරව සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පවතින ඖෂධ තත්ත්ව පාලන අධිකාරිය මගින් කළ පරීක්ෂණ මගින් ඒවා හඳුනාගෙන ඇති බවද කියා සිටියේ ය.

රටට ගෙන්වන සියලු ඖෂධ අහඹු ලෙස තෝරා ගෙන ඒවා පරීක්ෂාවට ලක් කළ යුතු නමුත් එවැනි ක්‍රියාවලියක් සිදු නොවන බව පැවසූ ඔහු වසර ගණනාවක් තුළ රටට ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වූ සමාගම් තවදුරටත් ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලිය තුළ සිටින බව ද එම සමාගම් අසාධු ලේඛනයට ඇතුළත් කරන බව රටට ප්‍රකාශ කළත් එසේ සිදු කොට නැති බව ද ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මහීපාල හේරත් මහතා මේ පිළිබඳව කියා සිටින්නේ එම තොරතුරුවල සත්‍යතාවක් නොමැති බවයි.

තත්වයෙන් උසස් ඖෂධ රෝහලවලට ලබා දීම සඳහා වාර්ෂිකව රුපියල් බිලියන හතලිහක් වැය කරන බවත් ඖෂධ සඳහා කෙරෙන ආයෝජන වැඩි කොට ඇති බවත් හේරත් මහතා පැවසූ අතර හොඳ සෞඛ්‍ය සේවාවක් පවත්වා ගෙන යාම පිණිස ගුණාත්මක භාවයෙන් සහ තත්වයෙන් උසස් ඖෂධ ගෙන්වීමට පියවර ගෙන ඇති බව ද ප්‍රකාශ කළේ ය.

|BBC

Rate this item
(0 votes)