May 20, 2024

බොක්‌සිං තරගයක දී තුවාල ලැබූ සිසුවියක් මියයයි

November 12, 2015

කාන්තා පාසල් බොක්‌සිං ක්‍රීඩා තරගයක්‌ අතරතුර දී එල්ල වූ පහරකින් බරපතළ තුවාල ලැබූ රත්නපුර සීවලී මහ විදුහලේ ශිෂ්‍යාවක්‌ මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (11) මියගොස්‌ තිබේ.

මහනුවර පල්ලෙකැලේ ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලාවකට අයත් බොක්‌සිං වළල්ලක්‌ තුළ දී ඉකුත් 30 වැනි දා මෙම බොක්‌සිං තරගය පවත්වා ඇත.

එහි දී ප්‍රතිවාදී පාසල් ක්‍රීඩිකාව එල්ල කළ පහරකින් බිම ඇද වැටුණු ශිෂ්‍යාව බරපතළ තත්ත්වයේ පසු වූයෙන් ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහල්ගත කිරීමෙන් පසු ඇගේ හිස අභ්‍යන්තරයේ සිදු වූ රුධිර ගැලීමක්‌ හේතුවෙන් සැත්කමකට ද ලක්‌කර දින 11 ක්‌ තිස්‌සේ ඇය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී එලෙස මියගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මියගිය ශිෂ්‍යාව රත්නපුර සීවලී මහ විදුහලේ කලා අංශයෙන් උසස්‌ පෙළ හදාරමින් සිටි රත්නපුර පැල්මඩුල්ල පන්සල්වත්ත ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි හර්ෂණී සෙව්වන්දි නමැති අයෙකි.

මහනුවර මූලස්‌ථාන පොලීසිය ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

Rate this item
(0 votes)