May 20, 2024

'මාධ්‍ය මොනවා කිව්වත් සෝභිත හිමිට අවසන් කැමැත්තක් නෑ' - චන්ද්‍රසිරි හිමි

November 12, 2015

මාදුළුවාවේ සෝභිත නා හිමියන් තම අවසන් කටයුතු කෙසේ කළ යුතු ද යන්න පිළිබඳව කලකට පෙර පළ කළ අදහස් විවිධ මාධ්‍ය මගින් ප‍්‍රචාරය වුවද තම ආදාහන කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව උන්වහන්සේ කිසිදු ලිඛිත ඉල්ලීමක් හෝ අවසාන කැමති පත‍්‍රයක් ලබා දී නැතැයි කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ ශ්‍රී ජයවර්ධනපුර ප‍්‍රධාන සංඝනායක මීගහතැන්නේ චන්ද්‍රසිරි හිමියෝ පැවසූහ.

එබැවින් 'එවැනි අදහස් මාධ්‍ය ඔස්සේ පළ කර දුකින් තැවෙන බෞද්ධ ජනතාවගේ සිතුවිලිවලට බාධා ඇති කරන්නට එපා' යැයි ඉල්ලා සිටින බව ද උන්වහන්සේ සඳහන් කළහ.

අනිත්‍ය, දුක්ඛ, අනාත්ම පිළිබඳ සත්‍යය ලොවට කියාදුන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළේ ද සඳුන් සෑයක බව ද චන්ද්‍රසිරි හිමියෝ කියා සිටියහ.

උන් වහන්සේ මේ බව පැවසුවේ මාදුළුවාවේ සෝභිත හිමි ආදාහන පූජෝත්සවය පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.

‘සෝභිත හිමියන් තම අවසන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ විවිධ මාධ්‍ය කළ විමසීම්වලදි උන් වහන්සේ ලබා දී ඇති පිළිතුරු දැන් මාධ්‍ය ඔස්සේ පළ කෙරෙනවා. ඒ අදහස් ඔවුන් පළ කරන්නේ සෝභිත හිමියන්ගේ අල්පේච්ඡ ජීවිතය, නිහතමානී බව හා සරළ බව පිළිබඳ අදහසක් දීමට නම් එහි කිසි ගැටළුවක් නැහැ. නමුත් මෙවැනි දේ පළකිරීම හරහා දුකින් තැවෙන බෞද්ධයන්ගේ සිතුවිලිවලට යම් යම් බාධා ඇතිවෙන්නත් පුළුවන්. සෝභිත හිමියන් තමන්ගෙන් කළ විමසීම්වල දී තම හැගීම් ප‍්‍රකාශ කර තිබෙනවා. නමුත් ඒ ගැන සඳහන් ලිඛිත ඉල්ලීමක් හෝ ලියවිල්ලක් නැහැ. එවැනි ලියවිල්ලක් තිබුණා නම් එයට ගරු කරන්නට වෙනවා. රේරුකානේ චන්දවිමල හිමියන් අපවත්වීමට පෙර එවන් ඉල්ලීමක් කර තිබූ නිසා එලෙස ආදාහන කටයුතු සිදුකළා. නමුත් සෝභිත හිමියන් මෙවැනි ප‍්‍රකාශ කර තිබුණේ ධර්ම දේශනා ආදී විවිධ අවස්ථාවලදීයි. පැය 24න් උන්වහන්සේ ආදාහනය කළා නම් එම කටයුතු කරන්නට වෙන්නේ සිංගප්පූරුවේදීයි.

සෝභිත හිමියෝ තමන් 73 වසරක් පරිහරණය කළ ශරීරයත් අත්හැරියා. ඒ ශරීරය වුණත් අපේ බෞද්ධ ජනතාවට වටිනවා. ඔවුන්ට එය බලන්නටවත් නොදී ආදාහනය කළා නම් එයත් අසාධාරණයක්’

Rate this item
(1 Vote)