May 20, 2024

සෝභිත හිමිගේ ආදාහන පූජෝත්සවය හෙට

November 11, 2015

අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ අවමංගල්‍ය උත්සවය හෙට (12) කොළඹ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එදින ජාතික ශෝක දිනයක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ.

එසේ ම උන්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිත ව සිදු කිරීමට නියමිතයි.

සෝභිත හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන 12 වැනි දා ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ සියලු පාසල්වලට නිවාඩු ලබා දී තිබේ. අදාළ පාසල්වල 10 සහ 11 ශ්‍රේණි හැර අනෙක් පන්ති සඳහා මෙම නිවාඩු ලබාදීම සිදුකර ඇති බව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා සඳහන් කරයි.

අපවත් වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඉකුත් 09 වැනි දා සිට මේ වනවිටත් විශාල ජනකායක් කෝට්ටේ ශ්‍රී නාග විහාරයට පැමිණෙමින් සිටී.

හෙට (12) පෙරවරු 11.00 දක්වා උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහජනතාවට අවස්ථාව සළසා දී ඇත.

අනතුරුව ආගමික වතාවත්වලින් අනතුරු ව පස්වරු 01.00ට ආදාහන පෙරහැර කොට්ටේ ශ්‍රී නාග විහරයෙන් ගමන් ආරම්භ කරන බව බුද්ධ ශාසන අමාත්‍යංශ ලේකම් වසන්ත ඒකනායක මහතා පවසයි.

මේ අතර සෝභිත නාහිමිගේ ආදාහන පූජෝත්සව පෙරහැර සඳහා මහජනතාවට සම්බන්ධ විය හැකි බව  සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය පවසයි.

හෙට දහවල් 12.00 වනවිට පෙරහැර සඳහා සහභාගීවීමට කැමති ජනතාවට කෝට්ටේ ශ්‍රී නාග විහාරය වෙත පැමිණෙන ලෙස එහි කමිටු සාමාජික සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ ය. දහවල් 12.00 සිට පස්වරු 1.00 දක්වා කාලය තුළ ආදාහන පූජෝත්සව පෙරහැර සංවිධාන කිරීම සිදු කෙරේ.

නාගවිහාරය අභියසින් ආරම්භ කෙරෙන පෙරහැර සඳහා අතරමඟ දී ජනතාවට සම්බන්ධවීමට ඉඩ ලබා නොදෙන බව බුද්ධ ශාසන අමාත්‍යංශය සඳහන් කරයි.

ආදාහන පෙරහැර සඳහා සහභාගීවීමට නොහැකි බැතිමතුන්ට පස්වරු 03.00ට පෙර පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය වෙත පැමිණ ආදාහන පූජෝත්සවයට සහභාගීවීමට අවස්ථාව සළසා දී ඇත.

 

Rate this item
(0 votes)