May 20, 2024

නව හැඳුනුම්පත් අංකයට ඉලක්කම් 12 ක්

November 10, 2015

ඉලක්කම් 09 කින් හා ඉංග්‍රීසි 'V' අක්ෂරයෙන් යුතු පැරණි හැඳුනුම්පත් අංකය වෙනුවට 'V' අක්ෂරය නොමැති ව ඉලක්කම් 12 කින් පමණක් යුතු නව හැඳුනුම්පත් අංකයක් හඳුන්වාදීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි වාර්තා වේ.

1968 අංක 32 දරණ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතේ විධිවිධාන අනුව උචිත, නියමිත කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින පුද්ගලයන් ලියාපදිංචි කර, එම පුද්ගලයන් හඳුනාගැනීම සඳහා හැඳුනුම්පතක් නිකුත් කිරීම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මූලික කාර්ය භාරයය වේ.

මෙසේ ලියාපදිංචි කරන සෑම පුද්ගලයෙකුටම හැඳුනුම්පතක් නිකුත් කිරීමේ දී නිශ්චිත වූ හැඳුනුම්පත් අංකයක් ගණිතමය සූත්‍රයකට අනුකූලව ගණනය කර නිශ්චිතව හඳුනාගැනීම සඳහා එම පුද්ගලයාට නිකුත් කරයි. 

1972 වසරේ සිට මේ දක්වාම එම හැඳුනුම්පත් අංකය ඉලක්කම් 09 කින් හා ඉංග්‍රීසි 'V' අක්ෂරය සහිත ව නිකුත් කර ඇති අතර සමහර පුද්ගලයන්ට හැඳුනුම්පත් නිකුත් කළ මුල් කාලයේ දී ඉලක්කම් 09 කින් හා ඉංග්‍රීසි 'X' අක්ෂරය සහිතව ද නිකුත් කර ඇත. 

කෙසේ වුව ද වර්තමාන හැඳුනුම්පත සකස් කිරීමේ දී ගණනය කරනු ලබන ගණිතමය ක්‍රමවේදය තවදුරටත් භාවිත කිරීමේ දී පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් මෙසේ ඉතා කඩිනමින් නව හැඳුනුම්පත් අංකයක් පුද්ගලයන්ට නිකුත් කිරීමට එම දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.

මෙසේ හඳුන්වාදීමට නියමිත නව හැඳුනුම්පත් අංකය ඉලක්කම් 12 කින් යුක්තවන අතර, දැනට නිකුත් කරන ලද හැඳුනුම්පත් අංකයේ තිබූ 'V' හෝ 'X' ඉංග්‍රීසි අක්ෂර එහි සඳහන් නොවනු ඇති බව ද වාර්තා වේ. එසේම නව හැඳුනුම්පත් අංකය ද ගැහැණු අංක හා පිරිමි අංක ලෙස වර්තමාන හැඳුනුම්පත් අංක නිකුත් කර ඇති ආකාරයටම සකස් වෙනු ඇති බවත්, එහි කිසිදු වෙනසක් සිදුව නොමැති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

 

Rate this item
(0 votes)