May 18, 2024

කරාතේ ශූර සමාජශාලා හිමිකරු ඝාතනයේ සැකකරුවන් හඳුනාගැනේ

කරාතේ ශූර වසන්ත සොයිසා මහතා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ඇතුළු පිරිස හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, වසන්ත සොයිසා මහතාගේ රාත්‍රි සමාජ ශාලාවට පැමිණි පුද්ගලයෙකු සමග ඇතිකර ගත් පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනයට සිදුවන්නට ඇති බවට තොරතුරු අණාවරණ වෙමින් පවතින බව ය.

ඔවුන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් ඒ සඳහා පොලිස් කණ්ඩායම් 5ක් යොදවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියදර්ශනී කාරියවසම් මහත්මිය සමාජ ශාලාවේ හිමිකරු ඝාතනය කළ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙස අනුරාධපුර මූලස්ථාන පොලීසියට ඊයේ (25) නියෝග කළේය.

අනුරාධපුර, මුදිතා මාවතේ පිහිටි ඔහුට අයත් රාත්‍රි සමාජ ශාලාවට පෙරේදා රාත්‍රි ඇතුළු වූ නාඳුනන පුද්ගලයින් 25 දෙනෙකු පමණ පිරිසක් තියුණු ආයුධවලින් කපා වසන්ත සොයිසා මහතා ඝාතනය කර තිබිණ.

මුහුණු ආවරණය කරගත් එම පිරිස පෙරේදා රාත්‍රි 11.45 ට පමණ එම සමාජ ශාලාවට ඇතුළු වී ඇති බව පොලීසිය පැවසී ය.

ඔවුන් කළ පහරදීම්වලින් සමාජ ශාලාවේ සේවකයින් තිදෙනෙකු ද තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

ඝාතනයට ලක්වූ වසන්ත සොයිසා මහතා අවස්ථා කිහිපයකදීම විවිධ වාර්තා තබමින් දක්ෂතා දැක්වූ කරාතේ ශිල්පියෙකු වන අතර ඔහු අනුරාධපුර කඩ 50 මුදිතා මාවත ප්‍රදේශයේ පදිංචිව සිටියේ ය.

Rate this item
(0 votes)
Last modified on Monday, 26 October 2015 11:20