May 18, 2024

මස්කෙළිය නිවාස පේළියකට පස් කන්දක් කඩා වැටෙයි - පවුල් 30 ක් අවතැන් (PHOTOS)

මධ්‍යම කඳුකරයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග මවුස්සා කැලේ ජලාශයට ජලය ගලාබසින මස්කෙළිය ගවරවිල වතුයායේ ඇළ මාර්ගයක් පිටාර ගැලීමෙන් එම වතුයායේ නිවාස පේළියක් ඉකුත් 24 වැනි දා රාත්‍රියේ පමණ ජලයෙන් යට වී තිබේ.

ඉන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති අතර එම නිවාසවල පදිංචිව සිටි වතුකම්කරුවන්ට අයත් පෞද්ගලික බඩුභාහිරාදිය සහ පාසල් ළමුනගේ පොත් පත් ජලයෙන් විනාශ වී ඇත.

තව ද එම වතුයායේම නිවාස 03 ක් මතට නිවාස පිටුපස තිබු පස් කන්දක් ඉකුත් 24 වැනි දා රාත්‍රියේ කඩා වැටීමෙන් නිවාස 03 කට දැඩි අලාභහානි සිදු වී තිබේ.

පස් කන්ද කඩා වැටෙන අවස්ථාවේ එහි පදිංචිකරුවන් නිවස තුළ සිටියත් ඔවුන්ට කිසිදු අනතුරක් ඉන් සිදු වී නොමැත. මෙම අපදා තත්ත්වයෙන් එම වතුයායේ පවුල් 30 කට අයත් සාමාජිකයන් 130 දෙනෙකු පමණ තාවකාලික ව එම වතුයායේ පුස්ථකාලයේ පදිංචි කර ඇත.

මෙම අවතැන් වූ පුද්ගලයින් පිළිබඳ සොයා බැලීමට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් මහතා ඊයේ (25) පස්වරුවේ එම වතුයායේ නිරීක්ෂණ චාරිකාවක නියැලුනේ ය. පස් කන්ද කඩා වැටීමෙන් විනාශ වූ නිවාස 03 අලුතින් ඉදිකර දීමට පියවර ගන්නා බව එහි දී අමාත්‍යවරයා පැවසී ය.

පාසල් ළමුන්ගේ විනාශ වූ පාසල් උපකරණ ලබාදීමට ද පොරොන්දු වූ අමාත්‍යවරයා අවතැන්වූවන්ට අවශ්‍ය පහසුකම් සලසන ලෙස නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකයට උපදෙස් දී ඇත.

මධ්‍යම කඳුකරයට තවදුරටත් වැසි ලැබෙමින් පවතින අතර කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට ඉතා ආසන්න වී ඇති බව අප වාර්තාකරු පවසයි.

හැටන් - රංජිත් රාජපක්ෂ

Rate this item
(0 votes)
Last modified on Monday, 26 October 2015 10:57