May 03, 2024

කොරියාවේ රැකියා සඳහා අයදුම්පත් 4590 නිකුත් කරයි

දකුණු කොරියාවේ ධීවර අංශයේ රැකියා සඳහා ශ‍්‍රී ලාංකිකයින් බඳවා ගැනීමේ පරීක්‍ෂණය සඳහා අයදුම්පත‍්‍ර නිකුත් කිරීම පසුගිය 19 සිට 21 දක්වා දින තුන තුළදී සිදුකළ අතර එහිදී, අයදුම්පත‍්‍ර 4590 නිකුත් කළ බව ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

අයදුම්පත‍්‍ර ගාල්ල, මාතර, හම්බන්තොට, ගම්පහ, ති‍්‍රකුණාමලය, රත්නපුර, රත්මලාන, අනුරාධපුර හා හලාවත යන කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානවලදී නිකුත් කෙරිණි.

මෙවර විභාගය නොවැම්බර් මස 7 වන දින පැවැත්වීමට නියමිත අතර පරීක්‍ෂණ පැවැත්වෙන දිනය හා වේලාව කාර්යාංශ වෙබ් අඩවියෙන් දැනුම් දෙනු ලැබේ. මෙම භාෂා ප‍්‍රවීනතා පරීක්‍ෂණය ධීවර ක්ෂේත‍්‍රයේ රැකියා සඳහා පමණක් පැවැත්වේ. 

මෙවර පරීක්‍ෂණයෙන් අයදුම්කරුවන් 700ක් පමණ සමත් කෙරේ. දකුණු කොරියාවේ රැකියා හා කම්කරු අමාත්‍යංශය හා මෙරට විදේශ රැකියා අමාත්‍යංශය අතර, අත්සන් තබන අවබෝධතා ගිවිසුම් ප‍්‍රකාරව, ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පමණක් දකුණු කොරියාවට ශ‍්‍රී ලංකාවෙන් ශ‍්‍රමිකයින් යැවීම සඳහා නීත්‍යානුකූල බලය ඇති බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කරයි. 

එබැවින් මෙම රැකියා සම්බන්ධයෙන් වෙනත් කිසිඳු පාර්ශවයක් සමඟ, මූල්‍ය ගනුදෙනු හෝ වෙනත් ගනුදෙනු නොකරන ලෙසද ඇය මහජනතාවගෙන් ඉල්ලා සිටී. 

මෙම ධීවර පරීක්‍ෂණයේ ප‍්‍රතිඵල 2015 දෙසැම්බර් මස 2 දින නිකුත් කිරීමට නියමිතය.

දකුණු කොරියාවේ රැකියා සඳහා 2015 වර්ෂයේ මුල් මාස 9 තුළ පුද්ගලයින් 5,599 දෙනෙකු පිටව ගොස් තිබෙන බව එම කාර්යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

 

Rate this item
(0 votes)