May 04, 2024

ඒඩ්ස්, මැලේරියාව හා ක්ෂය රෝග මර්දනයට ගෝලීය අරමුදල සමඟ ගිවිසුමක්

ඒඩ්ස් රෝගය, ක්ෂය රෝගය සහ මැලේරියාව මර්දනය සඳහා මූල්‍ය ප්‍රදානයන් ලබාගැනීමට ගෝලීය අරමුදල සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කටයුතු සැලසුම් කර ඇත.

ගෝලීය මට්ටමේ සෞඛ්‍ය ප්‍රශ්නවන ඒඩ්ස් රෝගය, ක්ෂය රෝගය සහ මැලේරියාව යන බෝවන රෝග පාලනය කිරීමේ අරමුණින් 2002 වර්ෂයේදී ලෝක නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඒඩ්ස් රෝගය, ක්ෂය රෝගය සහ මැලේරියාව මර්ධනය සඳහා වූ ගෝලීය අරමුදල පිහිටුවා ගන්නා ලදී. මෙම අරමුදල මඟින් රෝග මර්ධනය සඳහා එම රෝග ප්‍රචලිත රටවල රාජ්‍ය ආයතන සහ වෙනත් සංවිධාන වෙත මූල්‍ය පහසුකම් ප්‍රදානය කෙරේ. 

ගෝලීය අරමුදලේ මූල්‍ය රෙගුලාසි අනුව 2015 වසරේ සිට ඉදිරියට මූල්‍ය ප්‍රදානයන් ලබාගැනීම සඳහා එම අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් කළ යුතු ගිවිසුම අත්සන් කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කර තිබූ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Rate this item
(0 votes)