May 18, 2024

බස් - ලොරි ගැටීමෙන් 2ක් මරුට - 33කට තුවාලයි

පුත්තලම - අනුරාධපුර මාර්ගයේ සිරම්බිඅඩිය ප්‍රදේශයේදී අද (23)අලුයම 1.30 ට පමණ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් 33 දෙනෙකු තුවාල ලබා තිබේ.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරින් මිය ගොස් සහ තුවාල ලබා ඇත්තේ බස් රථයේ ගමන් කරමින් සිටි පිරිස බව පොලීසිය පවසයි.

අනතුරට පත්ව ඇත්තේ වෙන්නප්පුව ඩිපෝවට අයත් බස් රථයක් වන අතර එය මුලතිව් සිට කොළඹ බලා ගමන් කරමින් තිබී ඇත.

ඉදිරියෙන් ගමන් කරමින් තිබූ විශාල ප්‍රමාණයේ ලොරියක පිටුපස බස් රථය ගැටීමන් අනතුර සිදුවී ඇති බව වාර්තා වේ.

තුවාලකරුවන් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර තුවාලකරුවන් අතර බරපතළ තත්ත්වයේ පසුවන කිහිප දෙනෙකුම සිටින බව පුත්තලම රෝහල් ආරංචි මාර්ග පවසයි.

පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. 

Rate this item
(0 votes)