May 05, 2024

පොලිස් නීති කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂවරයා තනතුරෙන් ඉවතට

රාජකාරීය පැහැරහැරීමේ චෝදනා මත පොලිස් මූලස්ථානයේ නීති කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරෙන් ඉවත් කර ඇතැයි වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ පොලිස්පතිවරයාට අදාළ නීතිමය කටයුත්තක් සම්බන්ධයෙන් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් අදාළ නිලධාරියා එම තනතුරෙන් ඉවත් කර ඇති බව යි.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ගේ පාර්ශවය විසින් අභියාචනාධිකරණයට ගොනුකර තිබු පෙත්සමකට අදාළව පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසකට පසුගිය 09 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණි.

එහෙත් එම දිනය වන විට පොලිස්පතිවරයා දිවයිනෙන් බැහැරව සිට ඇති අතර අදාළ නොතීසිය පොලිස් නීති කොට්ඨාසයට ලැබී තිබියදී නීති කොට්ඨාසයේ නිලධාරීන් පොලිස්පතිවරයා වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත්වීම පැහැරහැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ හේතුවෙන් අභියාචනාධිකරණය යළිත් වරක් පොලිස්පතිවරයා  වෙත නොතීසි නිකුත් කළ අතර ඒ අනුව පසුගිය 16 වැනි දා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටීමට පොලිස්පතිවරයාට සිදුවු බව ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත් මෙම සිදුවීම පොලිස්පතිවරයා විසින් අධිකරණ නියෝග නොතකා හැර ඇති බවට ප්‍රකාශ වන අයුරින් මාධ්‍ය වාර්තා පළ වු අතර පොලිස්පතිවරයාට එවැනි සිදුවීමකට මුහුණදීමට සිදුවුයේ නීති කොට්ඨාසයේ නිලධාරීන් රාජකාරිය පැහැරහැරීම හේතුවෙන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)