May 22, 2024

ගණිකා වෘත්තිය නීතිගත කරන ලෙස ජනපතිට ඉල්ලීමක් (VIDEO)

ගණිකා වෘත්තිය නීතිගත කරන ලෙසත් එම වෘත්තියේ යෙදෙන්නන්ට බාධාවකින් තොරව ජීවනෝපායේ නියැලීමට අවශ්‍ය නීති සකස්කරන ලෙසත් ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් යොමු කරමින් ලිංගික ශ්‍රමිකයින්ගේ අයිතීන් සුරැකීමේ කේන්ද්‍රය නම් වූ සංවිධානයක් ඊයේ (19) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

එහි දී අදහස් දැක්වූ එම සංවිධානයේ සම-සභාපතිනී බී.මහේෂ්වරී මහත්මිය ප්‍රකාශ කළේ සමස්ත සමාජය විසින් තමන් වැනි ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් ප්‍රතික්ෂේප කරනවා මිස ඔවුන් එම වෘත්තියට යොමු වූයේ කුමක් නිසාද යන්න පිළිබඳව සොයා නොබලන බව යි.

එමෙන්ම පොලිස් නිළධාරීන් විසින් ද තම වෘත්තියේ යෙදෙන්නියන් පරිහරණය කර, ඉන් පසු උසාවියට ඉදිරිපත් කරන බවට ද ඇය චෝදනා කළා ය.

ගණිකා වෘත්තිය ගැන කතා කරන්නට සිටින්නේ ගැහැණුන්ම පමණක්වන නමුත් මෙම වෘත්තියට ප්‍රධාන ලෙසම සම්බන්ධිත වන්නේ පිරිමි පාර්ශවය බව ද ඇය අවධාරණය කර සිටියා ය.

මෙම මාධ්‍ය හමුවේ දී ඔවුන් මතු කළ තවත් කරුණක් වූයේ ලිංගික ශ්‍රමිකයින් සඳහා අනන්‍යතාවය තහවුරු කිරීමේ ක්‍රමවේදයක් පිළිබඳ අවශ්‍යතාවය යි. එම නිසා ගණිකා වෘත්තියේ යෙදෙන්නන්ට ද හැඳුණුම්පතක් හඳුන්වා දිය යුතු යැයි ද ලිංගික ශ්‍රමිකයින්ගේ අයිතීන් සුරැකීමේ කේන්ද්‍රය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

මෙම මාධ්‍ය හමුවට සහභාගී වී සිටි සකුණි මායාදුන්න නමින් හඳුන්වා ගත් විපර්යාසිත ලිංගික (Transgender) අයෙකු පැවසූවේ තමන් වැන්නවුන්ට එදිනෙදා කටයුතුවල දී අනන්‍යතාව තහවුරු කරගැනීමේ ගැටළු පවතින බව යි. මෙම ගැටළුව සැළකිල්ලට ගෙන විපර්යාසිත ලිංගික පුද්ගලයින්ට ද හැඳුණුම්පතක් නිකුත් කරන ලෙසයි ඇය ඉල්ලා සිටියේ.

නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර ඔහු පැවසූවේ ලිංගික ශමිකයින් පිළිබඳව මෙරට ඇති නීති පද්ධතිය ඉතා පැරණි එකක් බවත් එය වත්මනට ගැලපෙන පරිදි වෙනස් කළ යුතු බවයි.

වීඩියෝව පහතින්.

Rate this item
(7 votes)
Last modified on Tuesday, 20 October 2015 13:20