May 21, 2024

දිස්ත්‍රික් 09කට තවමත් නායයාමේ අනතුරු ඇඟවීම්

අධික වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 09ක් සඳහා නායයාමේ හා ඉවුරු කඩා වැටීමේ අවදානම් අනතුරු ඇඟවීම නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල, කෑගල්ල, රත්නපුර, කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක සඳහා එම අනතුරු ඇඟවීම් නිකුත් කළ බව එහි නායයාම් අධ්‍යාපන හා අවදානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර මහතා සඳහන් කරයි.

මේ අතර පිටබැද්දර, මල්පුදනාගල සහ ගොරකවෙළ යන ප්‍රදේශවල සිදු වූ නාය යාම් හේතුවෙන් දරුවෙකු තුවාල ලබා තිබේ. ඉන් නිවසකට ද හානි සිදු වී ඇත.

හදිසි අවස්ථාවක් වුවහොත් දැඩි අවදානම් කලාපවල ජීවත්වන ජනතාව සඳහා ඊට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ දැනුවත් කිරීමේ පෙරහුරුවක් අද (20) පැවැත්වෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදයකුමාර මහතා පවසයි.

මේ අතර විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ්‍රවල ජල මට්ටම 70%ත් 80%ත් පමණ ඉහළ අගයක පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි. මේ වනවිට අඩුම පිරිවැයකින් විදුලිය ජනනය කිරීමට හැකිව ඇති බව එහි ලේකම් බී.එම්.එස්. බටගොඩ මහතා සඳහන් කරයි.

අධික වියදමක් සහිත ඉන්ධන බලාගාර සියල්ලෙහි විදුලි උත්පාදනය නතර කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මාතර නිල්වලා සහ ගාල්ල ගිං ගඟ යන ගංඟාවන්හි ජල මට්ටම මේ වනවිට තරමක් පහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එසේ ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (19) පස්වරුවේ සිට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දිඹුල, ක්වින්ස්බරි වත්තේ කැටපුලා කොටසේ මහවැලි ගඟට ජලය ගලා බසින ඇළ මාර්ගයක් පිටාර ගැලිමෙන් ඇළ මාර්ගය අසල පිහිටි නිවාස පේලියක් ජලයෙන් යට වී තිබේ.

එහි පදිංචි පවුල් 10 කට අයත් සාමාජිකයන් 50 දෙනෙකු පමණ තාවකාලික ව වෙනත් ස්ථානයක පදිංචි කළ බව දිඹුල පොලීසිය සඳහන් කරයි.

එම ප්‍රදේශයට අකුණු සැර කිහිපයක් පතිත වුව ද ඉන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති අතර, තලවාකැලේ නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම ඝන මීදුම් තත්ත්වයක් හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා ඇති වී තිබේ.

එම මාර්ගයේ වාහන ධාවනය කිරිමේ දී ඉතා සැළකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

හැටන් - රංජිත් රාජපක්ෂ 

 

Rate this item
(0 votes)