May 21, 2024

එක්නැළිගොඩ සිද්ධිය: යුද හමුදාපතිට හා හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂවරයාට නොතීසි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් ලබන 30 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස යුද හමුදාපතිවරයාට හා හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂවරයාට අභියාචනාධිකරණය අද(19) නොතීසි නිකුත් කළේ ය.

ඔවුන් දෙදෙනා වග උත්තරකරුවන් ලෙස සිය පෙත්සමට එක්කර ගැනීමට සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය අධිකරණයේ අවසර ඉල්ලීමෙන් අනතුරුව එම නියෝග නිකුත් කළේය.

එක්නැළිගොඩ මහත්මිය වෙනුවෙන් නීතිඥයින් කළ ඉල්ලීමට අභියාචනාධිකරණයේ සභාපති විජිත් මලල්ගොඩ මහතා සහ එෆ්.සී.ජේ. මඩවල විනිසුරුවරිය එකඟ වූවා ය.

තව ද දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හමුදා නිලධාරීන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන බවත් එම පරීක්ෂණවලදී අනාවරණය වන පුද්ගලයින් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කරන්නැයි ද ඇය ඉල්ලා සිටියා ය.

එමෙන්ම එක්‌නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා අවශ්‍ය වුවොත් ඉහත නිලධාරීන් දෙදෙනා යටතේ සේවය කරන දැනට එම සිද්ධිය සම්බන්ධව රහස්‌ පොලිසිය භාරයේ රඳවා සිටින හමුදා නිලධාරීන් ඇතුළු ඕනෑම නිලධාරියකු අධිකරණයට කැඳවීමට හෝමාගම මහෙස්‌ත්‍රාත්වරයාට බලය පැවරෙන නියෝගයක්‌ ද අභියාචනාධිකරණය  නිකුත් කළේය. 

අභියාචනාධිකරණය එකී නියෝගය කළේ සන්ධ්‍යා එක්‌නැලිගොඩ මහත්මිය සිය නීතිඥවරයා වන ක්‍රිස්‌මාල් වර්ණසූරිය මහතා මගින් මෝසමක්‌ ගොනු කරමින් කළ ඉල්ලීමකට අනුවයි.

එක්‌නැලිගොඩ මහතා අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයක්‌ පැවැත්වෙන අතර මේවන විට අධිකරණය කීප දෙනෙකුගෙන් සාක්‍ෂි විමසා ඇත.

 

Rate this item
(0 votes)