May 21, 2024

තමිලනීගේ දේහය කිලිනොච්චියේ පරන්තන් නිවසට (PHOTOS)

හිටපු එල්.ටී.ටී.ඊ. කාන්තා අංශයේ නායිකාව වූ තමිලනී නොහොත් සුබ්‍රමනියම් ශිවහාමීගේ මෘත දේහය ඊයේ (18) ඇය පදිංචි නිවස වූ කිලිනොච්චිය පරන්තන් ප්‍රදේශයට රැගෙනවිත් තිබේ.

ඉකුත් මැයි මස 15 වැනි දා ඇය මහරගම පිළිකා රෝහලට ඇතුළත් කර තර ඉන් අනතුරු ව ඇයට විකිරණ ප්‍රතිකාර ලබා දුන්න ද රෝග තත්ත්වය උත්සන්නවීමෙන් ඊයේ ඇය (18) මිය ගියා ය.

මේ වනවිට ඇගේ මෘත ශරීරය තැන්පත් කර ඇති පරන්තන් නිවස වෙතට ඊයේ රාත්‍රියේම දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් ඇතුළු දේශපාලඥයින් මෙන් ම ප්‍රදේශවාසීන් විශාල පිරිසක් පැමිණ තිබේ.

තමිලනී නොහොත් සුබ්‍රමණියම් ශිවහාමි 1972 වසරේ පරන්තන් හිදී උපත ලබා එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැඳී ඇත්තේ 1986 වසරේ දී ය. ඒ වනවිට ඇය 14 වැනි වියේ පසු විය.

තමිලිනී, ආරක්ෂක අංශ විසින් වවුනියාව සරණාගත කඳවුරක රැඳී සිටිය දී අත්අඩංගුවට ගනු ලැබුවේ 2009 වසරේ මැයි මස 20 වැනි දා ය. යුද්ධයෙන් අනතුරු ව අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨම එල්.ටී.ටී.ඊ. නායිකාවවන තමිලිනී, එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් කර්නල් තනතුරක් ද ලබා දී තිබිණි. 

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරු ව ඇය අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ තමිලිනී වසරක කාලයක් පුනරුත්ථාපනය සඳහා යොදවන ලෙස ය. පසුව යුද හමුදාව යටතේ පූන්තෝට්ටම් කඳවුරේ පුනරුත්ථාපනය ලැබූ තමිලිනී 2013 වසරේ මැයි මස 26 වැනි දා දෙමව්පියන් වෙත භාරදෙනු ලැබී ය. 

තමිලිනී පසුව විවාහ වී ඇති අතර, රෝහල් ගතකළ පසු ඇගේ මව තමිලිනීගේ සත්කාර කටයුතුවල නිරත ව සිටියා ය. තමිලිනීට සොහොයුරියන් දෙදෙනෙකු සිට ඇති අතර, එක් සොහොයුරියක් එල්.ටී.ටී.ඊ. සන්නද්ධ අංශයේ කටයුතු කරමින් සිටිය දී මියගොස් ඇත.

වන්නි රොමේෂ් මධූෂංඛ

 

 

Rate this item
(0 votes)
Last modified on Monday, 19 October 2015 17:28