May 22, 2024

කොටකෙතන ගමෙන් මාධ්‍යයට පණිවිඩයක්

"පිට ගම් වල මිනිස්සු හිතන් ඉන්නේ මේ පත්තර වලින් රූපවාහිනියෙන් යන විදිහට කොටකෙතන ඉන්නේ මිනිස්සු යන කොට මරා ගෙන කන යකුසෝ රකුසෝ වගේ කට්ටිය කියලා"

කොටකෙතන ගම්මානයේ සිවිල් ආරක්ෂක කමිටුවේ සාමාජිකත්වය දරන ගමේ තරුණයෙක්වන සමන් කුමාර ඇතැම් මාධ්‍ය කොටකෙතන සිදුවීම් වාර්තා කරන ආකාරය නිසා ඇතිවී තිබෙන තත්වය ගැනයි එසේ අදහස් දැක්වුයේ.

පසුගිය 28 වැනිදා කොටකෙතන වසර 7ක් තුළ සිදුවූ 19 වැනි කාන්තා ඝාතනයද වාර්තාවූ අතර එම සිදුවීමත් සමග කොටකෙතන ගම්මානය ගැන යළිත් මාධ්‍ය තුල කතාබහක් ඇතිවී තිබේ.

කොටකෙතන සිදුවීම් වාර්තා කර එයට රටේ අවධානය යොමු කිරිම ගැන මාධ්‍යයට තමන් ස්තුතිවන්ත වන බව පවසන සිවිල් ආරක්ෂක කමිටුවේ සමන් කුමාර කෙසේ වෙතත් ඇතැම් මාධ්‍ය එය ආවරණය කරන ආකරය ගැන ගම්වාසීන් ලෙස සතුටට පත් විය නොහැකි බවයි පැවසුවේ.

"හැම ගමකම මරණ සිදු වෙනවා, නමුත් කොටකෙතන වුනාම මාධ්‍ය ටිකක් ඒක චුන් කරනවා, කොටකෙතන මාරයා යලි නැගිටියි, රකුසා යලි නැගිටියි කියලා තමයි වර්තා කරන්නේ, එහෙම වාර්තා කරන්නේ නැතුව සිදුවීම විතරක් වාර්තා කරන්න. මොකද අපි ඔක්කොම කැමති මේ ගමට එල්ල වෙලා තියෙන කළු පැල්ලම අයින් කරගන්න නේ"

කොටකෙතන ගම්වාසීන් බොහොමයක් ගම තුල සංචාරය කළ අප සමග සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කළ අතර ඔවුන් පැවසුවේ මාධ්‍ය තුල තමන්ට සාධාරණත්වයක් ඉටු නොවන බවයි.

"ඇත්තටම කියන්න කණගාටුයි, සිදුවීමක් වුනාම මාධ්‍ය එනවා, ලොකු කරලා දානවා ඊට පස්සේ කතාවක් නැහැ, දැන් ගමට නෑදෑයෙක් වත් එන්නේ නැහැ" කාන්තාවක් පැවසුවාය.

මෙලෙස මාධ්‍යයට එල්ල වෙන චෝදනා සම්බන්ධයෙන් කොටකෙතන ඝාතන මුල සිටම වාර්තා කළ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් වන බුද්ධික රත්නකුමාර අදහස් දැක්වූයේ මෙලෙසින්.

"අපි ප්‍රාදේශීය මාධ්‍යවේදීන් හැටියට කොටකෙතනට ඇවිල්ල සිද්ධිය වාර්තාකරණ කොට කොළඹ සිට ව්‍යාජ තොරතුරු පල කරන මාධ්‍ය භාෂාවෙන් කිව්වොත් අතේ රෝල් පල කරන අය නිසා තමයි මේ චෝදනාව එල්ල වෙන්නේ"

කොටකෙතන ජනතාව මාධ්‍යයට චෝදනා කලත් ඔවුන් වෙනුවෙන් සැබෑ ලෙසම පෙනී සිටියේ මාධ්‍ය පමණක් බව ඔවුන්ගේ සිත දන්නා බවයි ප්‍රාදේශීය මාධ්‍යවේදී බුද්ධික රත්නකුමාර පැවසුවේ.

"ඒගොල්ලන්ගේ දුක අහන්න, දුක රටට කියන්න, ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න රටට කියන්න හිටියේ ප්‍රදේශයේ මාධ්‍යවේදීන් කියලා ගමේ අය දන්නවා, කොටකෙතනට ඔය විදිහට හරි ආරක්ෂාවක් තියෙන්නේ ඔය මට්ටමට හරි පරීක්ෂණ වෙන්නේ මාධ්‍ය නිසා"

කොටකෙතන ඕපාත වත්තේ ප්‍රාදේශීය වතු නායකයෙකු වන වේලුසාමි අලගර්සාමි පවසන්නේ තමන් මාධ්‍යයට කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකරන බවයි. ගම තුල සිදුවීමක් සිදුවූ විට එම ස්ථානයට පැමිණ ගමේ ජනතාව සමග සිටින්නේ ගමේ දේශපාලනඥයන් නොව මාධ්‍යවේදියා බවයි.

"අපි ඡන්දේ දාපු මන්ත්‍රීවරුන් එන්නේ නැහැ, මාධ්‍යවේදීන් එනවා, පසුගියදා නාතන් පාපු කියන ගෑණු කෙනා මරපු වෙලාවේ අපි මරණේ වුන තැනට යන කොටම අපිට sms එකෙන් ප්‍රවෘත්ති එනවා කොටකෙතන නාතන් පාපු ඝාතනය වෙලා කියලා"

මාධ්‍ය මෙම සිදුවීම් වාර්තා කිරීම හේතුවෙන් මෙම සිදුවීම ගැන බලධාරීන්ගේ අවධානය යොමු වීම මෙන්ම කොටකෙතන ගැන උනන්දුවක් දක්වන අයට කරුණු දැන ගැනීමට ද හැකි වනු ඇති බවයි වේලුසාමි අලගර්සාමි පෙන්වා දෙන්නේ.

"මරණයක් වුනාම තමන්ගේ අම්මට මේක වුනාද නෑදෑයෙක්ට වුනාද කියල පිට ඉන්න කට්ටිය බය වෙනවා, නමුත් මාධ්‍ය ඉක්මනින් තොරතුරු වාර්තා කරන නිසා ඒ මිනිස්සුන්ට මේක ලොකු සැනසීමක්"

මෙම ඝාතන රැල්ල විසඳී කොටකෙතන ගමේ සුන්දරත්වය ගැන මාධ්‍යවල පුවත් පල වීම දැකීම තම බලාපොරොත්තුව බවයි වේලුසාමි අලගර්සාමි අවසාන වශයෙන් පැවසුවේ.

| BBC

Rate this item
(0 votes)
Last modified on Monday, 19 October 2015 08:57