May 04, 2024

යාපනයේ පාලු වත්තක තිබී මිනිස් ඇටකටු හමුවෙයි - කැනීම් කිරීමට අධිකරණ නියෝගයක් (PHOTOS)

යාපනයේ අරියාලෙයි නෙන්ඩුකුලම් ප්‍රදේශයේ පාලු වත්තක තිබී මිනිස් අස්ථි කොටස් කීපයක් හමු වී ඇති අතර අදාල අස්ථි කොටස් යාපනය දිසාවිනිසුරු පී.ශිවකුමාර් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව අදාල ප්‍රදේශයේ පරීක්ෂණ කටයුතු පවත්වා අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් නියෝග කොට ඇත.

මිනිස් අස්ථි කොටස් පිළිබදව පොලීසියට පැමිණිලි කොට ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ‍මහතා බවටත් පොලීසිය කී හෙයින් ඔහුගෙන් මේ පිළිබදව විමසූ විට ඔහු කියා සිටියේ පළාතේ වැසියෙකු තමන්ට ලබාදුන් තොරතුරක් මත එහි ගොස් බලන විට මිනිස් අස්ථි කොටස් දුටු බවටයි.

වර්ග කීපයක සෙරෙප්පුද, පනාවක්ද, කාන්තා ඇදුම් වල කොටස්ද අස්ථි කොටස් සමග තිබූ බැවින් මියගොස් සිටියේ කාන්තාවන් බව ඉතා පැහැදිලි යැයි කී හිටපු මන්ත්‍රීවරයා මේ ස්ථානයට මළසිරුරු ඒමට කිසිදු ඉඩක් නොමැති හෙයින් කිසියම් පිරිසක් විසින් කාන්තාවන් ඝාතනය කොට මෙම ස්ථානයට රැගෙනවිත් වළදමන්නට ඇතැයි විශ්වාස කරන බවටද කියා සිටියේය.

අරියාලේදී හමුවුණු අස්ථි කොටස් පුද්ගලයින් කීපදෙනෙකුට අයත් අස්ථිදැයි පැහැදිලිව ප්‍රකාශ කිරීමට හිටපු මන්ත්‍රීවරයාටත්, පොලීසියටත් නොහැකි වූ අතර අදාල ස්ථානයට ගිය යාපනය දිසා විනිසුරු පී.ශිවකුමාර් මහතා විසින් පොලීසියට නියෝග කොට සිටියේ අදාල ඇටසැකිලි පිළිබඳව පූර්ණ පරික්ෂණයක් සිදුකොට වාර්ථාවක් ලාබා දෙන ලෙසටයි.

වන්නි රොමේෂ් මධුෂංඛ

Rate this item
(0 votes)