May 03, 2024

කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට ආසන්නයි

මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප‍්‍රදේශවලට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.

කාසල්රී ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 10ක් ඇති බවත් මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 15ක් ඇති බවත් විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. ජලාශ  දෙකේම ජල මට්ටම ඉහළයෑමත් සමඟ විමලසුරේන්ද්‍ර, කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන සහ පොල්පිටියයන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරීම ධාරිතාවකින් යුක්තව සිදුකරන බව එම විදුලි බලාගාර ඉංජිනේරුවන් පැවසීය. 

ඉහළකොත්මලේ ඉහළ ජල පෝෂක ප‍්‍රදේශවලටද ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් වරින්වර ඉහළ කොත්මලේ ජලාශයේ ස්වයංක‍්‍රීයව වාන් දොරටු විවෘත වන නිසා එම ජලාශයට පහළින් කොත්මල ඔය පරිහරණය කරන අය සැළකිලිමත්ව සිටින ලෙස එම විදුලිබලාගාරවල ඉංජිනේරුවන් ඉල්ලා සිටියි.

හැටන් - රංජිත් රාජපක්ෂ

Rate this item
(0 votes)
Last modified on Thursday, 05 November 2015 14:58