May 04, 2024

ඉදිරි වසර 05 තුළ ඇමති පාඨලීගෙන් විප්ලවීය වෙනසක්

ඉදිරි වසර පහ විප්ලවීය වසර පහක් බවට පත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට හැකියාව තිබිය යුතු බවත් තමා අතගහපු කිසිම අමාත්‍යාංශයක් අසාර්ථක උනේ නැති බවත් භාරගත් සෑම අභියෝගයක්ම පරාජය නොවුණ බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූයේ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරියේ සමස්ථ සේවක සේවිකාවන් පළමුවරට හමු වූ අවස්ථාවේදීයි. 

මෙම විශේෂ හමුව අද දින (16) බත්තරමුල්ල, සෙත්සිරිපාය පරිපාලන සංකීර්ණයේ 7 වහන මහලේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියේ ශ‍්‍රවණාගාරයේදී සිදු කෙරුණි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසී ය.

“මම අතගහපු කිසිම අමාත්‍යාංශයක් අසාර්ථක උනේ නැහැ. භාරගත්ත සෑම අභියෝගයක්ම පරාජය උනෙත් නැහැ. මේ අවස්ථාවේදී අපට ලැබුණු අභියෝගය ජයග‍්‍රාහීය කෙළවර කිරීමට අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. එය සියළු දෙනාගේ ශක්තිය ඇතිව සිදු කළ යුත්තක්. කැලි කසල, වාහන තදබදය, දුගියන්ගෙන් තොර පිරිසිදු නගරයක් බවට පත් කර මේ රට සුහුරු සුමට රටක් බවට පත් කරන්න අපි කැපවිය යුතුබව අමාත්‍යවරයා අවධාරණය කර සිටී. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමත්‍යවරයා, ”නාගරික සංවර්ධනය නව යුගයකට පිවිස ඇති මොහොතක නාගරික සංවර්ධන අධිකාරියේ සියළු දෙනා එක පවුලක් ලෙස සූදානම් විය යුතු අවස්ථාවක්. මෙම ආයතනය අප රටේ ප‍්‍රධාන පෙලේ ආයතනයක් මෙන්ම බැබලෙන ආයතනයක් බවට පත් කරන්නට සියළු දෙනාම එක් විය යුතුයි. පසුගිය කාල පරිච්ෙඡ්දයේ විවිධ ආණ්ඩු යටතේ විවිධ ඇමතිවරු යටතේ විශාල වැඩ කොටසක් නාගරික සංවර්ධනය වෙනුවෙන් සිදු කරලා තියෙනවා. නමුත් අද අප ඉදිරියේ තිබෙන අභියෝගය ජය ගන්න නම් මීට වඩා බලගතු වැඩකොටසක් සිදු කල යුතුයි. පසුගිය කාලය තුළ අපි සතුටට පත්වුණා රටතුළ සිදුවෙච්ච නගර අලංකරණ කටයුතු නිසා. ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරිය අතීතයේදී කළ කාර්ය භාර්යය ගැන. ඒ අනුව අපි දැනගත යුතු දෙයක් තිබෙනවා. පසුගිය සමයේ අපි අතින් සිදුවෙච්ච අඩු පාඩු මොනවද කියලා. මෙහිදි අපි එකක් අවබෝධ කර ගන්න  ඕනේ. ජනතාවගේ කැමැත්තෙන් තොරව මොනම හොඳ වැඩක්වත් කරන්න බැහැ.  ඕනෑම සංවර්ධන කටයුත්තක් සිදු කිරීමේදී ජන සහභාගීත්වය අත්‍යවශ්‍යයි. ජන සහභාගීත්වය තිබුණොත් තමයි සැලසුම්කරණයත් සාර්ථක වෙන්නේ. අපේ සිතේ හොඳ සැලසුම් සහ බලාපොරොත්තු තිබුණත් වැඩක් නැහැ ජන සහභාගීත්වය නොතිබුණොත් අපි අසාර්ථක වෙනවා. උදාහරණයක් විදිහට පේ‍්‍රමදාස ජනාධිපතිතුමා සංවර්ධන කටයුතු සඳහා ඉතා හොඳ ජනාධිපතිවරයෙක්. එතුමා ඉතා පිරිසිදු සිතින් කජුගම නමින් තිබුණ ඒ ගම්මානය එතුමාට ඇති වූ හැගීම නිසා ඉතාම හොඳ අදහසින් ඉතා වටිනා නිර්මාණයක් සිදු කළා කජුගම නමින්. නමුත් ඉතා කෙටි කලකින් එම ව්‍යාපෘතිය අසාර්ථක බව පෙණුනා. හොඳ අදහසින් මෙන්ම එම සංවර්ධන කටයුුතු සඳහා රාජ්‍ය අරමුදල් වියදම් කළත් මහජනයාගේ අකමැත්ත මත සිදු වූ නිසා අසාර්ථක වුණා. 

ඒ අනුව පසුගිය කාලයේ සිදු වූ සංවර්ධන කටයුතුවලටද සිදුවුණේ මෙය බව දැන් අපට වැටහෙනවා. අපට බෑ ජනතාවට වඩා ගව් ගානක් ඉස්සරහින් ඉන්න. අපි ඉන්න  ඕනේ අඩියක් ඉදිරියෙන්. අපි අඩියක් ඉදිරියෙන් සිට ජනතාව අඩියක් ඉදිරියට ගත යුතුයි. ඒ වගේම අප පසු පසින් සිටිය යුතුත් නැහැ. මිනිසුන් කියන කියන දේ කරන්නත් අවශ්‍ය නැහැ. 

“මම විදුලි බල මණ්ඩලය භාර ගන්නාවිට එම මණ්ඩලය බංකොලොත් ආයතනයක්. නමුත් අපි ඉතා කෙටි කලකින් එම මණ්ඩලය ගොඩගත්තා. අද මහා භාණ්ඩාගාරයෙන් යැපෙන්නේ නැති ආයතනයක් බවට පත් වෙලා. ඒ වගේ තමයි බරපතල ප‍්‍රශ්න හා අභියෝග තිබුණු තෙල් සංස්ථාව එතනින් ගොඩගැනීමට කටයුතු කළා. එම අභියෝගයත් අපි ගොඩගත්තේ ඉතාම සරල වැඩ කිහිපයකින්. ඒ අනුව බලන විට නාගරික සංවර්ධන අධිකාරියට තිබෙන අභියෝග ඉතා පුංචියි. ඒ වගේම ඉදිරි මාර්ග ඉතා පැහැදිලියි. එනිසා කාටවත් ණය නැති ශක්තිමත් මූල්‍ය ආයතනයක් බවට පත් කර ගත යුතුයි. මේ රටට අලූත් යුගයක් ඇතිවුනේ දැන උගත් ජනතාවගේ මැදිහත් වීම නිසා මේ වන විට දේශපාලන භේදය බොහෝ විට තුනී වී ගිහින් තිබෙනවා. මොකද ප‍්‍රධාන පක්ෂ දෙකේ නායකයින් දෙදෙනෙක් එකතු වී රට පාලනය කරනවා. මේ ලැබිච්ච මොහොතෙන් අපි ප‍්‍රයෝජනය ගත යුතුයි. ඉදිරි වසර පහ විප්ලවීය වසර පහක් බවට පත් කරන්න නාගරික සංවර්ධන අධිකාරියට හැකියාව තියෙන්න  ඕනේ. ඒ සඳහා අපි සියළු දෙනාම එක පවුලක් ලෙස කැපවිය යුතුයි. යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(1 Vote)